Книга - සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)

a
A

සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)
Amy Blankenship


එනවග ජවතය වශෂට වය. උසස වඩම සහදරයක, වදගත පමවතක සමග ගහණ ළමයකට බය හක හඳම රකයව සමග ... නගරය වඩතම ජනපරය සමජ ශහ තබරමව බම පගනවනනයක වම. ඇග පමවත වසන සඳ නරතනයහ නටම ශව ක නමන කරයවක ගන ඇග හඳම මතරකගන ඇමතමක බන තර සමදම හඳන සදවය.   ඩවන යන ජගවරවරයක බවට පතවය හක තරමක රළ මනසක සහ සඳ නරතනය හව හමකරවක. රත කස සහතව සමජ ශව නටමන සටන ආකරෂණය කහකර ගහනය දටවට  ඔහග කය එහ අකෂයන ඉවතට නඹර වය. ඔවන වට ගඩනගණ වමපයර යදධයකත සමඟ ඩවන මම කනතව තමග බවට පත කරගනමට පරනද දන අතර... ඇයව බ ගනමට තම උපරම වරයය යද සටන කරය.

එනවග ජවතය වශෂට වය. උසස වඩම සහදරයක, වදගත පමවතක සමග ගහණ ළමයකට බය හක හඳම රකයව සමග ... නගරය වඩතම ජනපරය සමජ ශහ තබරමව බම පගනවනනයක වම. ඇග පමවත වසන සඳ නරතනයහ නටම ශව ක නමන කරයවක ගන ඇග හඳම මතරකගන ඇමතමක බන තර සමදම හඳන සදවය. ඔහව මණගස ඒ පබඳ වමසමට ඇය ගත තරණය මගන එදනද ඒකකර ජවතයට යටන සඟව ඇත භයනක අදභත කයක හඳනව දන සදවම දමයක ආරමභ කරය. මනසන හට ජගවරවරන  බවට පරවරතනය වය හක කයක, සබ වමපයරවරන වථව සරසරන එසම කඩ වටණ දවදතයන අප අතර ඇවදමන සටන. ඩවන යන ජගවරවරයක බවට පතවය හක තරමක රළ මනසක සහ සඳ නරතනය හව හමකරවක. නරම හදවතකන සහ වද කමපන උපකරණයකන  සනනදධව, රත කස සහතව සමජ ශව නටමන සටන ආකරෂණය කහකර ගහනය දටවට  ඔහග කය එහ අකෂයන ඉවතට නඹර වය. ඔවන වට ගඩනගණ වමපයර යදධයකත සමඟ ඩවන මම කනතව තමග බවට පත කරගනමට පරනද දන අතර... ඇයව බ ගනමට තම උපරම වරයය යද සටන කරය.



Translator: Roshan Perera







“සඳ නර්තනය”

රුධීරයේ බැඳීම පොත් අංක එක



ඇමී බ්ලැන්කන්ෂිප්, ආර්.කේ. මෙල්ටන්

සංස්කරණය කළේ ට්‍රේසි මරේ විසිනි



ප්‍රකාශන හිමිකම © 2012 ඇමී බ්ලැන්කන්ෂිප්

ටෙක්ටයිම් විසින් ප්‍රකාශයට පත් කරන ලද දෙවන සංස්කරණය

සියලුම හිමිකම් ඇවිරිණි.



පරිවර්තනය

රොෂාන් පෙරේරා




පෙරවදන


ඇන්ජලීස් ජාතික වනාන්තරය භයානක කූගර් සතුන් සහ ආනයනික ජගුවර්වරු නිදහසේ සැරිසරන්නාවූ ඔවුන්ගේ විශාල නිවහනයි. සමහර විටක, පැහැදිලි රාත්‍රීන් හිදී, ඔවුන්ගේ සංඛ්‍යාව කෙටි මොහොතකට වර්ධනය වන්නේ සාමාන්‍ය ලෙස වෘකයෙකු වැනි එක් වර්ගයක සතෙකු බවට පත්විය හැකි පුද්ගලයින්, නැතහොත් ජනප්‍රවාදයන්හි කියවෙන පරිදි තම ස්වරූපයෙන් මාරුවෙන්නන්, ඔවුන්ගේ දුරස්ථ ඥාති සහෝදරයන් අතර මෙම ඝන වනාන්තරයේ සැරිසරන බැවිනි. නගරයේ සිටින මෙම විලෝපිකයන්, දඩයම් කිරීමට, එසේ නැතහොත් ඉතාමත් කලාතුරකින්, මිනිස් තණතීරුව මත විසඳිය නොහැකි සටන් නිරාකරණය කරගැනීමට මෙලෙස ඔවුන්ගේ භූමිය ආක්‍රමණය කරන අතර මෙවිට සැබෑ සතුන් ඔවුන්ගේ ගුහාවල සැඟවී සිටියි.

එම මාරුවෙන්නන් සටන් කරන විට ඔවුන් ඉතා බිහිසුණු වන අතරම ඔවුන්ගෙන් එක් අයෙකු තුවාල ලැබුවහොත්, ඔවුන්ගේ සත්ත්ව සගයන්ට මෙන්ම මිනිසුන්ටද අනතුරුදායක වනු ඇත. ඔවුන් සමග ජීවත් වන සැබෑ මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා, මාරුවෙන්නන් අතර ඇතිවන ආරවුල්, හැකි සෑම විටම එම මිනිසුන්ගේ පරාසයෙන් බැහැරව සිදු කෙරෙන අතර එයට හොඳම ස්ථානය ඔවුන්ගේ ස්වදේශික ගැඹුරු දඩයම් භූමින් තුළ වේ.

අද රාත්‍රියේ වනාන්තරය තුල හොල්මන් සිටින්නාක් මෙන් නිශ්ශබ්ද භාවයකට පත්වූයේ නගරයේ විශාලතම සමාජ ශාලාවේ හිමිකරුවන් දෙදෙනා හීලෑ නොවූ ප්‍රදේශයට ඇතුළු වන විටය. ඔවුන් ඇතුළුවූයේ, ඔවුන්ගේ අභ්‍යන්තරයේ වූ මෘගයාට නිදහසේ දිවීමට ඉඩ දීම සඳහා ඔවුන්ගේ ඇඳුම් ගලවා දමමිනි. ඔවුන් අද රාත්‍රියේ දඩයම් කරමින් සිටියේ, ඔවුන් දෙදෙනාවම විනාශ කළ හැකි වැම්පයරයෙකුගේ සොහොනයි.

කිසිම මිනිසෙකුට හඬක් නොඇසෙන්නාවූ ඝන වනාන්තරය තුළ, කුඩා ජගුවර් වංශයක නායකයා වූ මලාකී, අන්ධකාරය මැදින් දිව ගියේ තම සතුරා දෙසටය… තම හොඳම මිතුරාට වඩා විශ්වාස නොකළ යුතුව තිබුනාවූ මිනිසෙකු දෙසට. ඔහුගේ ඉලක්කය තවත් මාරුවන්නෙකි, එනම් කූගර් රුධීරය ඔහුගේ නහර හරහා දිවෙන නතානියෙල් විල්ඩර් වෙත… පසුගිය අවුරුදු 30 තුළදී ඔහුගේ ව්‍යාපාරික සහකරු.

මලාකී වනාන්තරයේ එළිමහන් ප්‍රදේශයකට පිවිසෙන විට නතානියෙල් මිනිස් ස්වරූපයෙන් ඔහු දෙස බලා සිටිනු දුටුවේය. ඔහු පියවර කිහිපයක් ඉදිරියට ගත්විට, මලාකී සිය මිනිස් හැඩයට නැවත පැමිණුන අතර, ඔහුට එය දැනුනේ එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට ඇවිද යාමක් ලෙසටය. ඔවුන් කුමන ස්වරූපයකට මාරු වුවද ඔවුන් දෙදෙනාම මාරාන්තික වූහ. මිනිසුන් වශයෙන් ඔවුන් දෙදෙනාම තම මෘදු සම යට යකඩ වැනි මාංශ පේශින්ගෙන් යුතු කුසලතා ඇත්තෝ වූහ. මාරුවන්නන්ගේ වයසට යාම මන්දගාමී වූ අතර දෙදෙනාම වයස අවුරුදු 50 ඉක්මවා ගිය අය වූවද 30 හැවිරිදි වියේ පෙනුමකින් යුතු වූහ.

මෙය හොලිවුඩ් චිත්‍රපටයක් වූයේ නම්, එය දළ වශයෙන් වෙනස් කිරීමට මිනිත්තු කිහිපයක් ගතවනු ඇත, නමුත් මෙය යථාර්ථයක් වූ අතර මෙම එළිමහන් ප්‍රදේශයේ අරුම පුදුම බියකරු සත්ත්වයින් නොසිටියහ. තම නිරුවත් භාවය මාරුවෙන්නෙකුට වැදගත් දෙයක් නොවූ අතර ඔවුන්ට ඉහල අහසේ කළු වලාවන් අතරින් පැමිණි චන්ද්‍රාලෝකය, ඔවුන් දෙදෙනා දෙසට එල්ල කල විදුලි ධාරාවක් මෙන් ඔවුන් මත පතිත වී තිබිණි.

නතානියෙල් තම මිතුරා සමඟ තර්කානුකූලව කතා කිරීමට උත්සාහ කරමින් කීවේ “මේ දේ මෙහෙම වෙන්න ඕනේ නැහැ.” කියායි. "මට ඇහුන්කම් දෙන්න! ඒක අවුරුදු තිහකට ඉස්සර, අනික දැන් තත්වය වෙනස් වෙලා තියෙන්නේ… මම වෙනස් වෙලා ඉන්නේ.”

“අවුරුදු තිහක් වටින බොරු ගොඩක්!” මලාකී ගිගුරුම් දුන් අතර ඔහුගේ කටහඬ එළිමහනේ දෝංකාර දුන්නේය. ඔහුගේ බැල්ම, ඔහු කේන්ව වලදැමූ ස්ථානය වෙත යොමුවූ අතර ඔහුගේ ඇස්වලට තෙතමනයක් පැමිණි බව ඔහුට දැනුනි. “ඔයා නිසා, මම කේන්ව කුණු ගොඩකට බැන්දා… ඔයා හින්දා මම අවුරුදු තිහක් තිස්සේ එයාව අත්හැරියා!”

“මට එයාව හාරන්න ඉඩ දෙන්න බැහැ, මලාකී! ඔයා දන්නවා එහෙම කලොත් මොකක්ද වෙන්නේ කියලා.” මලාකී කලක් තම හොඳම මිතුරා වූ මිනිසාගේ සොහොන දෙස අසාවෙන් බලා සිටියදී නතානියෙල් නොසන්සුන්ව බලා සිටියේය. ඔහු එය කිසි විටෙකත් තේරුම් ගෙන නොතිබුණි. කේන් වැම්පයරයෙකු වූ අතර භයානක කෙනෙකුද විය.

ජගුවර් සහ කූගර් අතර ඇතිකර ගත් හවුල්කාරිත්වයට බාධා වූ කාරණා දෙකෙන් එකක් කේන් විය… කේන් සහ මලාකීගේ ලස්සන, රැවටිලිකාර, වංචාකාරී බිරිඳ කාලෝටා. නතානියෙල් ඇයට මුලින්ම ආදරය කර තිබුණි. කාරණා මේ ආකාරයෙන් සිදුවේ යැයි ඔහු බලාපොරොත්තු නොවීය. අවසානයේදී, නතානියෙල් ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් එම ගැටලුව විසඳා තිබුණි… එක් හදිසි කඩා වැදීමකින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීම.

“එයා මගේ හොඳම යාලුවා, ඒ වගේම එයා මාව පාවා දුන්නෙත් නැහැ! ඔයා තමයි මගේ පිටට පිහියෙන් ඇන්නේ!” මලාකී කෝපයේ කඳුළු සඟවා ඔහු පැළඳ සිටි කරාබුව ස්පර්ශ කළේය; කේන්ගේ කරාබුව. ඔහු කළේ කුමක්ද? කේන් තම මියගිය බිරිඳ වෙත නැමී සිටිනු බව දුටු විට, කේන් මිනීමරුවා බව නතානියෙල් තහවුරු කරන තුරු ඔහු ව්‍යාකූලත්වයට පත්වී සිටියේය.

ඇය මේ ස්ථානයේදී මියගොස් සිටි නිසා ඔහු සිතුවේ කේන්ව මේ භූමියට බැඳ තැබීම සුදුසු බවයි… මේ පසටම. ඔහු කේන්ගේ මන්ත්‍ර සඳහන් පොත සොරකම් කර, පළිගැනීම සඳහා එය ඔහුට එරෙහිව භාවිතා කළේය.

ඔව්, නතානියෙල් එක දෙයක් ගැන නිවැරදි විය. බොහෝ වැම්පයර්වරු නපුරු වූ නමුත් ඉතා සුළු පිරිසක් එසේ නොවුහ. කේන් ඔවුන්ගෙන් එක් අයෙකි. නමුත් ඔහු කළ දෙයට වඩා නපුරු කිසිවක් නැත. මෙම මන්ත්‍රය ආපසු හැරවිය හැක්කේ කේන්ගේ ආත්ම සහකරුට පමණි.

මලාකි ඒ වන විට එය විහිළුවක් ලෙස සැලකුවේ කේන් කිසිදා වයසට නොගියත් ඔහුගේ ආත්ම සහකාරිය එවිටත් හමුවී නොසිටි බැවිනි. අතීතයේ දී, ඔහු සහ කේන් බොහෝ විට විහිළු කරමින් කතා කළේ එවැනි කාන්තාවක් කිසි දිනෙක උපත නොලබන බවයි. ‘දෙවියන්ට, කවදා හෝ එයාගේ සමහර ක්‍රියා වලට එකඟ වන ගැහැණු කෙනෙක් නිර්මාණය කරන්න හාස්‍යජනක හැඟීමක් තියෙන්න ඕනේ’ යනුවෙන් තමන් කියූ දෙයට කේන් සිනහවූ ආකාරය ඔහුගේ මනසට මැවී පෙනුනි.

"එයා ගොඩාක් කල් ඉඳන් ඔතන යට ඉන්නේ." නතානියෙල් අනතුරු ඇඟවීය. “ඒ මුළු කාලයම ලේ වලට තියන ආසාවෙනුයි, උමතුවෙනුයි එයාව මෙහෙයවනවා… ඔයා දැන් කේන්ව නිදහස් කලොත් එයා අපිව මරයි.”

මලාකී තම හිස සොලවා නතානියෙල් දෙස බැලුවේය. “එයාට මාව විතරයි මරන්න වෙන්නේ, මොකද ඔයා එතකොටත් මැරිලා හින්දා.”

නිකුත් කළ තර්ජනයත් සමඟ දෙදෙනාම යළිත් වරක් ඔවුන්ගේ සත්ව ස්වරූපයට මාරු වූහ.



*****

දඩයම් කිරීම ප්‍රවේශමෙන් පාලනය කරන විශාල භූමි ප්‍රදේශයට යාබදව පිහිටි කඳවුරු භූමියේ අද්දර, තබතා කිං නොහොත් සියල්ලන්ම ඇයව අමතන්න ආකාරයට ටැබී, තම දෙමව්පියන්ගේ දැවැන්ත කූඩාරමේ වාහනයේ පඩි මත හිඳගෙන ඝන වලාකුළු අතරින් එබී බලන තාරකා දෙස බලා සිටියාය. ඇය තම නළලට වැටී තිබූ කෙස් රොදවල් හුස්ම පිඹ ඉවත් කරමින්, මෙතෙක් වේලා තිබූ වැස්ස නතරවීම ගැන සතුටු වූවාය.

ඇය කඳවුරු බැඳගෙන සිටි පළමු අවස්ථාව මෙය වන අතර ඇයට කිරීමට අවශ්‍ය වූ අවසාන දෙය වූයේ තම සුවපහසු විනෝදකාමී වාහනය තුලටවී සිටීමයි. ඇය මෙම සංචාරය ගැන බෙහෙවින් සතුටට පත්වූ අතර පවුලේ කුඩා සුනඛයා වන ස්ක‍්‍රැපීව රැගෙන ඒමට ඔවුන් එකඟ වූ විට වඩාත් සතුටට පත්වූවාය. ඇයට ඒ සඳහා බොහෝ අයැදීම් කිරීමට සිදුවූ නමුත් ඇගේ කුඩා හොඳම මිතුරා වන යෝර්කි වර්ගයේ බලු පැටියා රැකබලා ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු, ඇය අවසානයේ ඇයගේ දෙමාපියන්ගේ අකමැත්ත මැඩලීමට සමත් වූවාය.

ස්ක‍්‍රැපී මේ වන විට අන්ධකාරය දෙස බලා බුරමින් සිටියේය. ඔහුව බැඳ තිබූ දම්වැලෙන් මිදී ඔහුගේ අවධානයට ලක් වූ සෙවණැලි පසුපස හඹා යෑමට ඔහු කැමති විය. ස්ක‍්‍රැපී හදිසියේම ඔහුගේ දම්වැලෙන් මිදී පලා ගිය විට කුඩා දැරිය තදින් හුස්ම ගත්තාය. කඳවුරු භුමිය, දඩයම් කිරීම පාලනය කරන ලද විශාල භූමි ප්‍රදේශයෙන් වෙන් කළ වැටේ, පතුලේවූ කුඩා විවරයක් තුලින් බලු පැටියා පැන යනවිට ඇය වානේ පඩිපෙළ මත සිටගෙන සිටියාය.

“ස්ක‍්‍රැපී එපා!” ටැබී කෑගසමින් බල්ලා පසුපස දිව ගියාය. බල්ලාව නැතිකර නොගන්නා බවට ඇගේ දෙමාපියන් ඇයව විශ්වාස කර තිබුණි. වැට අසල නතර වූ ඇය ගස්වල අඳුර දෙස බලා තදින් ආශ්වාස කළාය. “මම බයගුල්ලෙක් නෙමෙයි” කියමින් ඇය විවරය විමර්ශනය කිරීම සඳහා දනින් වැටීමට පෙර අධිෂ්ඨානයෙන් යුතුව ඇයගේ පහළ තොල සපා ගත්තාය.

කුඩා සීරීම් කිහිපයක් සමගින්, ඇයද වැටෙහි එම සිදුර තුලින් රිංගා ගිය අතර වනාන්තරයේ දුරින් ඇසුනාවූ බල්ලාගේ බිරීම් හඬ ඔස්සේ ඒ දෙසට දිව ගියාය. “ඔයා මාව කරදරයක දායි වගේ” ඇය තදින් හඬ නඟා පවසා, ඇගේ දිවෙන් ශබ්ද කරන්නට පටන් ගත්තේ බලු පැටියා නිතරම එම ශබ්දයට තමන් වෙත පැමිණෙන බව දැනසිටි නිසාය.

“ටැබී, ඔයා කොහෙද?”

ඇය පිටුපසින්, තබතාට ඇගේ මවගේ ඇමතීම ඇසුණු නමුත් ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ ඇගේ බල්ලා නැවත කඳවුරට ගෙන ඒමට ය. ස්ක‍්‍රැපී ඇගේ බල්ලා වූ අතර ඔහු බලාගැනීම ඇයගේ යුතුකම විය. එබැවින් ඇය නැවත ඇගේ මවට හෝ බලු පැටියාට කතා කරනවා වෙනුවට මදක් නිශ්ශබ්දව සිට ස්ක‍්‍රැපීගේ උස් හඬින් කෙරුනාවූ බිරීම පසුපස ගියාය.

වැඩි වේලාවක් යාමට පෙර තබතාට, විනාඩියක් පමණ නතර වී ඇගේ හුස්ම අල්ලා ගැනීමට සිදුවිය. ඇය ගසකට හේත්තු වී ඇගේ අපිරිසිදු දණහිස් මත අත් තබා හුස්ම ගනිමින් වනාන්තරයේ හඬට සවන් දුන්නාය. ඇයට සැමවිටම අවශ්‍ය වූයේ කැලෑව මැද සිටගෙන රූපවාහිනියේ චිත්‍රපටවල සිටින ඉන්දියානුවන් කරන්නාක් මෙන් සවන් දීමටයි.

මඳ වේලාවකට වෙන්ව තිබූ වැසි වලාකුළු නැවතත් එක්වී මෙතෙක් වෙලා තිබූ දීප්තිමත් සඳ එළිය හදිසියේම අතුරුදහන් විය. ඇයට තවදුරටත් කඳවුරේ තිබූ විදුලි පහන් ආලෝකය නොපෙනෙන බව දුටුවිට ඇයගේ දෑස් විශාල විය.

අවිනිශ්චිත පියවරක් ඉදිරියට තබමින් ඇය වටපිට බැලූ නමුත් ඇය දුටුවේ අන්ධකාරය, යන්තම් හඳුනාගත හැකි ගස්වල කඳන් සහ අඳුරු සෙවනැලි පමණි. ඇයට තරමක් පිටුපසින් යම් දෙයක් ගෙරවිලි හඬක් නගමින් ඉවතට ඇදී යන විට ඇය බයෙන් ඉකිගැසුවාය. ඇය එම දිශාවට අකමැති බව තීරණය කරමින් ඇය පසුපස හැරී නොබලා දිව්වාය.

සදාකාලයක් සේ හැඟුනාවූ කාලයකට පසුව ඇයට ස්ක‍්‍රැපීගේ බිරුම් හඬ නැවත ඇසුණු අතර, ඇය පිටුපසින් ගෙරවූ දෙය තමා පසුපස හඹා නොඑනු ඇතැයි සිතා ඇය බල්ලාගේ හඬ පැමිනි දෙසට නැවතත් දුවන්නට ගත්තාය. ඇයට තවත් ගෙරවීම් හඬක් ඇසුන නමුත් මෙවර එය ඇසුනේ ඇයගේ ගමන් මාර්ගයේ ඉදිරියෙනි.

ඇගේ විලුඹ පොලවට තද කිරීමෙන් තම ගමන නැවැත්වීමට ඇය උත්සාහ කළ නමුත් පොලව, ලිස්සන සුළු කොළ වලින් සහ වර්ෂාවෙන් පසු ඇතිවී තිබූ මඩින් වැසී ගොස් තිබිණි. නවතිනවා වෙනුවට ඇය තවදුරටත් ලිස්සා ගිය අතර කිසිවක් කරගැනීමට නොහැකිවූ ඇය බෑවුමකින් පහළට ලිස්සී ගියාය.

ඇය වැටී තිබුන ගසක ගැටුන විට ඇයගේ ලිස්සායාම නතර වූ අතර ඇතිවූ කම්පනයෙන් ඇයගේ හුස්ම ඇයගෙන් පිටතට විසිවිය. ඇගේ හුස්ම යලිත් ගැනීමෙන් පසු ඇයට හැඟුණු පළමු දෙය නම් ස්ක‍්‍රැපී තවදුරටත් බුරන්නේ නැති බවය. ඇයට නැවතත් ගෙරවීම ඇසුන බැවින් ඇය ඉක්මනින් කඳු මුදුන දෙසට නැගීමට පටන් ගත් අතර එවිටම ඇයට මෘදු කෙඳිරිගෑමක් ඇසුනි. දණ ගාමින් සිටි ඇය, වැටී තිබූ ගසේ කඳට ඉහළින් බැලූ විට සඳ එළිය කෙළින්ම වැටී බැබළෙන කුඩා එළිමහන් ප්‍රදේශයක් දුටුවාය.

එම එළිමහන මාධ්‍යයේ ස්ක‍්‍රැපී සිටි අතර නිවසේ සිටියදී වීථියේ බල්ලෙකු විසින් සපා කෑ අන්දමට ඔහු කෑගසමින් සිටියේය. බලු පැටියා බිම පැතලි ආකාරයට වැතිරී සිටිමින් පසුපසට බඩගා ගියේය. ඒ ඇයි දැයි දුටු ඇගේ නිල් පැහැති ඇස් පුළුල් විය. එළිමහන් බිමෙහි සතුන් දෙදෙනෙකු සෙමෙන් එකිනෙකා දෙසට ගමන් කරමින් සිටි අතර ස්ක‍්‍රැපී හරියටම ඔවුන් මැද විය.

“අපොයි,” ටැබී ඇගේ හුස්ම යටින් කතා කළේය.

ඇය මෙම සංචාරය යාමට පෙර ඇගේ පියා විසින් පෙන්වන ලද ඡායාරුප මගින් එම සතුන් හඳුනා ගත්තාය. එක් අයෙක් කූගර් කෙනෙකු සහ අනෙකා රූපවාහිනියෙන් දැක ඇති පරිදි හඳුනා ගත්තාය… ජගුවර් කෙනෙක්. ඇය සත්ව සංදර්ශන නැරඹීමට ප්‍රිය කළ අතර රූපවාහිනියේ සතුන් එකිනෙකාට පහර දීමට උත්සාහ කරන විට ඇගේ මව මෙන් පිළිකුලට පත් නොවූවාය. නමුත් මෙහි තත්ත්වය වෙනස් විය… මෙය සැබවින්ම මෙන්ම තරමක් බියජනකද විය.

ඔවුන්, ඔබව අනුභව කළහැකි විශාල බළලුන් වූහ. එම සුන්දර සතුන් තම උගුරේ ගැඹුරින් ගොරවමින් එකිනෙකා වටා රවුමට කැරකුණ අතර ඔවුන්ගේ දෑස් විශාල රන් පදක්කම් මෙන් දිදුලමින් තිබිණි. ඔවුන්ගේ මාරාන්තික ශබ්දය හමා එන සුළඟ මගින් තබතා වෙතට ඇදී ආවේ ඇය ගෟෙරව සම්ප්‍රයුක්ත බියකින් ඔවුන් දෙස බලා සිටියදීය.

“එන්න ස්ක‍්‍රැපී,” ඇය සිමිහිට පැවසුවේ විශාල බළලුන් හට එය නොඇසෙයි කියා සිතමිනි. “එයාලගෙන් එක්කෙනෙක්ට ඔයාව පෑගෙන්න ඉස්සෙල්ලා ඔතනින් එන්න.” ඇය කියන්නට සිතුවේ ‘ඔයාව කන්න ඉස්සෙල්ලා’ කියා වුවත්, ඒ වන විටත් බයවී සිටි අහිංසක බලු පැටියා තවත් බිය ගැන්වීමට ඇයට අවශ්‍ය නොවීය.

බළලුන් දෙදෙනා හදිසියේම තදින් කෑගැසූ අතර තබතා ඇගේ දෙඅත්ලින් තම දෙකන් වසාගත්තේ එය අති බිහිසුණු ශබ්දයක් වූ නිසාය. ඔවුන් එළිමහන් බිම හරහා එකිනෙකා වෙත වේගයෙන් දිව ගිය අතර, ස්ක‍්‍රැපී ඔහුගේ වලිගය ඔහුගේ කකුල් අතර සඟවා බියෙන් මිරිකෙමින් සිටියේය.

කම්පනයට පත්ව සිටි තම බලු පැටියා දුටු තබතා ගසට උඩින් පනිමින් ඇයට හැකි උපරිම වේගයෙන් ස්ක‍්‍රැපී දෙසට දිව ගියාය. ඇය බළලුන්ට වඩා ස්ක‍්‍රැපීට සමීප වූ අතර ඇය බල්ලා වෙතට පැන ඔහුගේ කුඩා සිරුර ඇයගේ සිරුරින් ආවරණය කල අතර සතුන් දෙදෙනා උඩට පැන ඇයට කෙළින්ම ඉහළ අහසේ එකිනෙකා හා ගැටුනෝය.

“කරුණාකරලා, මගේ බල්ලට රිද්දන්න එපා!” ඇය කෑගැසුවාය.

තියුණු නියපොතු ඇගේ අත සූරන විට සහ තවත් අතකින් ඇයගේ පිටෙහි සම සීරී යන විට ඇය නැවතත් කෑගැසුවාය. බළලුන් ඇගේ පිටුපසින් බිම ඇද වැටුනේ ඇටකටු බිඳෙනසුළු ශබ්දයක් සමග වූ අතර ඔවුන් තවමත් එකිනෙකා වෙත ගොරවමින් කෑගසමින් සිටියහ. තමාට අඩි කීපයක් පිටුපසින් සටන් කරන සතුන් දෙස බැලීමට එඩිතර නොවී, මෘදු ලෙස කෙඳිරිගාමින් සහ වෙව්ලමින් සිටි ස්ක්‍රැපීව තම සිරුරින් ආවරණය කරමින් ඇය වකුටුවී සිටියාය.

තබතා තමා සිටි ස්ථානයෙන් සෙලවීමට බිය වූ අතර බල්ලාව හැකි තරම් තදින් අල්ලා ගත්තාය. ඇගේ දෑස් තදින් පියාගෙන සිටිමින් බළලෙකුගෙන් තමාටද හානි සිදුවුවහොත් දුව ගොස් උදව් ලබා ගන්නා ලෙස ස්ක‍්‍රැපීට හිමිහිට කීවාය. ඇගේ පිටට තෙත් සහ උණුසුම් යමක් වැටුන බව දැනුනද ඇය නොසෙල්වී සිටියාය. අවසානයේදී, සටන නතර වූ අතර ඇයට තම උරහිසට ඉහළින් බැලීමට අවස්ථාවක් ලැබුණි.

ඇයගේ පිටුපස ලේ වැගිරෙන මිනිසුන් දෙදෙනෙකු වැටී සිටිනු දුටුවිට ඇය කම්පා වී හඬන්නට පටන් ගත්තාය. තබතා ඉතා සෙමෙන් ස්ක‍්‍රැපී තම දෑතින් ගෙන දණගසා, සිමින් පසුපසට යන්නට පටන් ගත්තාය. කූගර් සහ ජගුවර් ගියේ කොහාටද? ඔවුන් මේ මිනිසුන් දෙදෙනාට පහර දී පලා ගියාද? පිරිමින් ඇඳුම් ඇඳ නොසිටියේ ඇයි?

නතානියෙල් හදිසියේම තම දෑස් විවර කර ඉතා තියුණු දත් ඇය වෙත විලිස්සුවේය.

තබතා බයින් පසුපසට ඇලවී ගිය නමුත් ඇයගේ දෙපා වාරු කරගැනීමට සමත්වූවාය. මිනිසාගේ කෑගැසීම කූගර් වරයෙකුගේ හඬට සමානවූ අතර බියවූ ස්ක‍්‍රැපී ටැබීගේ දෑතින් පිටතට පැනගත්තේය. ඔහු බියෙන් කෑගසමින් යලි වනාන්තරයට පලා ගියේය.

මලාකීගේ ශරීරය ගැහෙමින් තිබූ අතර ඔහුගේ පපුවෙන් ලේ ගලා ගියේය. ඔහු කට ඇර කුඩා දැරිය දෙස බලා එක් වචනයක් කීවේය.

“දුවන්න!” ඔහුගේ කටහඬ අවසන් වූයේ කන් ඉරායන ජගුවර කෑගැසීමකිනි.

තබතා කීකරු වීම ගැන දෙවරක් නොසිතුවාය. ඇය අනිත්පස හැරී, පිටුපස නොබලමින් එළිමහනෙන් පිටතට දිව ගියාය. ඇය යන්නේ කොහේදැයි යන්න ගැන ඇය සැලකිලිමත් නොවූවාය; අවශ්‍ය වූයේ ලේ වලින් වැසී ගිය බිහිසුණු මිනිසුන්ගෙන් හැකිතරම් ඈත්වීම පමණි.



*****



“ස්තූතියි, දැන් දේශීය ප්‍රවෘත්ති. අද රාත්‍රියේ ප්‍රාදේශීය පවුලකට සතුට සැමරීමට හේතුවූ කාරණාවක් තිබුණි. මීට දින තුනකට පෙර ක්‍රිස්ටල් විල අසල කඳවුරක සිටියදී පවුලේ සුනඛයා සොයා ගැනීම සඳහා වනාන්තරයට ගොස් අතුරුදහන්ව සිටි ඔවුන්ගේ දියණිය වන තබතා, ඇන්ජලීස් ජාතික වනාන්තරය තුළ ඉලක්කයක් නොමැතිව ඉබාගාතේ ඇවිදිමින් සිටියදී සොයාගෙන ඇත. දින තුනකට පෙර ඇයගේ බල්ලා තම දම්වැලෙන් මිදී වනාන්තරයට දිව ගොස් ඇත. හත් හැවිරිදි දරුවා ධෛර්ය සම්පන්නව බල්ලා පසුපස හඹා ගොස් තිබූ අතර අද උදෑසන වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි විය. අවාසනාවට, ඇය හමුවන විට බල්ලා ඇය සමග නොසිටියේය. බලධාරීන් පවසන පරිදි, මේ වනවිට ඇය ප්‍රජා රෝහලේ සිටිමින් කම්පන තත්වයෙන් සුවය ලබමින් සිටින අතර, ඇය කූගර් ප්‍රහාරයකින් දිවි ගලවාගෙන ඇති බව පෙනේ. කුඩා තබතා වනාන්තරය තුලදී දැක තිබූ තුවාල ලැබූ මිනිසුන් දෙදෙනෙකු ගැන දිගින් දිගටම වනාන්තර ආරක්ෂක නිලධාරීන්ට පැවසුවද වර්ග සැතපුම් පන්දහසක් පමණ වූ ප්‍රදේශයේ ඔවුන්ව සොයා දැඩි මෙහෙයුමක් සිදුකලද කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. ඊළඟ පැයේදී තවත් විස්තර අපි ඔබ වෙතට ගෙනෙන්නෙමු.”




1 වන පරිච්ඡේදය


අවුරුදු 10 කට පසු…



සමාජ ශාලාවෙන් ඝෝෂාකාරී සංගීතය රිද්මයානුකූලව නික්මුණ අතර එහි විශාල දම් පැහැති නියොන් එලිය දෙන සලකුනෙහි වර්ණ, සංගීතය සමඟ සමපාතව වෙනස් විය. වීථියේ අනිත් පස තිබූ ගොඩනැගිල්ල මතට විදුලි ආලෝකය වැටී බියකරු දිස්නයකින් බැබලුණි. එම ගොඩනැගිල්ලේ වහලය මත කෙටි, සැහැල්ලු, දුඹුරු පැහැති හිසකෙස් ඇති මිනිසෙක් එක් පාදයක් ගැටිය මත තබා සිටගෙන සිටියේය. ඔහු ඉදිරියට නැමී, එක් වැලමිටක් ඔහුගේ නැමුනාවූ දණහිස මත තබා, සිගරට්ටුවක් පානය කරමින් සිටියේය.

කේන් ට්‍රිප්, ඔහුගේ හිස තරමක් ඇලයට නමා තම කොට උල්වූ කෙස් කළඹ හරහා අතක් යැව්වේය. ඔහු එය කැපීමට අකමැති විය, නමුත් එහි තිබූ දිග ඔහුට අහිමි විය. එමගින් ඔහුගේ පිටට දැනුනු සේද බව ඔහුට තවමත් මතකය. සිගරට්ටුව තම තොල් දෙසට ඔසවා, ඔහුව පණපිටින් වළලා මැරී යාම පිණිස අතහැර දැමීමට පෙර ඔහු කළාවූ දුම් පානය මෙන්, ඔහුට බොහෝ දේ මග හැරී ඇති බව තේරුම් ගෙන ගැඹුරින් සිගරට්ටුව ආශ්වාස කළේය.

මීට වසර හතළිහක් වැනි දිගු කාලයකට පෙර කුඩා ජගුවර් වංශයක නායකයා වූ මලාකි විසින් ඔහු තම ආරක්ෂාව නොමැතිව සිටින අවස්ථාවකදී, එම මාරුවෙන්නාගේ සහකාරිය ඝාතනය කළ බවට චෝදනා කරන ලදී. එම රාත්‍රියට පෙර සිටම කේන්, ජගුවර්වරුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අතර ඔවුන්ගේ නායකයා ඔහුගේ සමීපතම මිතුරෙකුද විය. කේන්ගේ තොල් එම මතකයත් සමග තුනී වී ගියේය. මලාකී මහත් කෝපයෙන් ඔහුව අල්ලා, විනිශ්චය කොට, දඬුවම්ද දී තිබුණි.

කේන් ඉතා පරිස්සමින් සඟවා ඇතැයි සිතූ පොතක මන්තරයක් භාවිතා කරමින්, ඔහුට චලනය වීමට හෝ කතා කිරීමට නොහැකි ලෙස ඔහුව ශාපයක් මගින් බැඳ දමා තිබුණි... තමාව ආරක්ෂා කර ගැනීමට පවා ඔහුට නොහැකි ලෙස. එලෙසම ඔහු විසින්, දිවා කාලයේ කේන්හට බාධාවකින් තොරව සැරිසැරීමට හැකිව තිබූ ලේ පැහැති ගලින් නිමවූ කරාබුවද ඉවත් කළේය. එම ලේ පැහැති ගලින් නිමවූ කරාබුව පළමු වැම්පයර් වන සින් හට අයත්ව තිබූ එකක් විය.

කේන් වරක් ඇසුවේ පළමුවැන්නෙක් සිටිය හැක්කේ කෙසේද යන්නයි. පිළිතුර ඔහුව මවිතයට පත් කළේය.

සින් මේ ලෝකයට පැමිණියේ තුවාල වී, සාගින්නෙන් පෙළෙමින් සහ තනිවමය. තරුණයෙක් ඔහුව දැක ඇති අතර ඔහුගේ සාගින්න නිවා ගැනීමට සින් එම තරුණයාගේ රුධිරය ආහාරයට ගෙන ඇත. එම වැම්පයර් මෙම ලෝකයේ පවුලක් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් ඉක්මනින්ම තේරුම් ගත්තේ, මේ ලෝකයේ මිනිසුන් දුබල ජීවීන් බවත්, ඔහුගේ රුධිරය යමෙකු හා බෙදාගතහොත් ඔවුන්ගේ ආත්මය ඔවුන් අතහැර යන බවත්ය. නමුත් ඔවුන්ගේ ආත්ම නැති වූ පසු, ඔවුන්ගෙන් ඔහුට වැඩක් නැති බවත්, ඔවුන් අමනුස්සයින්ට වඩා වැඩි වෙනසක් නැති බවත් තේරුම් ගත්තේය.

ඔහුගේ නිමක් නොමැති ජීවිත කාලය තුළදී, තම ආත්මය තමන් වෙතම තබාගෙන ඔහුගේ දරුවන් බවට පත්වූ... මනුෂ්‍යයන් තිදෙනෙකු පමණක් සින් හට හමුවී තිබිණි. එකම වෙනස වූයේ ඔවුන් හැරුණු පසු සූර්යයා මගින් ඔවුන් දැවී යාමයි… එබැවින් ඔවුන් සහ ඔවුන්ගේ බිහිසුණු සහෝදර සහෝදරියන් දිවා හිරු එළියෙන් සැඟවී සිටීයහ. මෙය කිසි විටෙකත් සින්ගේ ග්‍රහලෝකයේ ගැටළුවක් නොවුනේ, ලේ පැහැති ගල නිසාය.

සින් පැළඳ සිටි ඝනකම් අත් ආවරණ ඔහු සමගම ඔහුගේම ලෝකයෙන් පැමිණි ඒවා වූ අතර ඒවා ලේ ගල් වලින් සාදා තිබිණි. එක් අතක පැළඳි ආවරණයෙන් කොටසක් කපා එයින් ඔහු මුද්දක්, මාලයක් සහ තනි කරාබුක් සෑදුවේය. කේන් යළිත් වරක් තම අත ඔසවා ඔහු පැළඳ සිටි කරාබුව ස්පර්ශ කළේය.

ලේ ගල ඔහුට අර්ධ සාමාන්‍ය ජීවිතයක් ලබා දී තිබුනද… කේන්ගේ පරිහානිය වූයේ සින්ගේ මන්ත්‍ර පොතයි. සින් නිදා සිටියදී තමන් විසින් තෝරාගත් තැනැත්තාට ඥානාන්විතව භාවිතා කිරීමට හැකිවන සේ ඔහු විසින් එය අත්හැර දමා තිබුණි. ආත්මය නොමැති දරුවන් මගින් මිනිසුන් හට විශාල අවදානමක් ඇති වුවහොත් ඔවුන්ව මැඩ පැවැත්විය හැකි ශාපලත් මන්ත්‍රයද ඒ තුළ විය.

ශාපලත් මන්ත්‍රය ඔහු මතද පාවිච්චි කෙරූ බැවින්, ඔහුගේ කලින් මිතුරා කළු පස් ඔහු මතට හෙලන විට කේන් එදෙස බලා සිටියේ අඳුරු, නොපැහැදිලි දෑසින්ය. ඔහු අවසාන වරට දුටු දේ ලෙස මතක් වූයේ ගස් පිරුණාවූ වනාන්තරයකට ඉහළින් තාරකාවන්ගෙන් පිරුණු අහසයි.

අන්ධකාරය සියල්ල වසා ගනිමින් දැඩි නිහඬ බවක් ඇති කළේය. මෙම මන්ත්‍රය ඔහුව බැඳ තැබූ නමුත් ඔහුට ඉහලින් පොළොවේ තිබූ දේ චලනය වන බවක් ඔහුට දැනුණි. කුඩා, දරුණු සත්වයන් ඔහුගේ නොමැරුණ මාංශය අනුභව කිරීමෙන් වැළකී සිටියද නොදැනුවත්වම ඔහුගේ ආත්මයට වේදනා ගෙනදුන්නෝය.

කාලය ගෙවී යත්ම, ඔහු නිසැකවම උමතු භාවයට පත්ව ඇත්දැයි සිතූ අතර, පසුව ඔහුට නිතරම ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය...මිනිසුන්ගේ කටහඬ. ඔහු සිටියාවූ සිරගෙදරදී ඒවා ඇසීමට ඔහු ඉතා ප්‍රියකළ අතර ඔහු ඒවා ඇසීමට ආශාවෙන් සිටියේය. සමහර අවස්ථාවන්හිදී ඔහුට මුළු පවුලකම කටහඬ ඇසුණු අතර තවත් විටෙක ඔහුට ඇසුණේ වැඩිහිටියන්ගේ හඬවල් පමණි.

සමහර අවස්ථාවලදී ඔහුව බැඳ තිබූ වශීය සමඟ සටන් කිරීමට, උදව් ඉල්ලා සිටීමට හෝ තමා වෙනුවෙන්ම යම් ආකාරයක සමාගමයක් වීමට උත්සාහ කලේය. ඉන්ද්‍රජාලය ඔහුව තදින් අල්ලාගෙන, ඔහුව සම්පූර්ණයෙන්ම බල රහිත කර තිබිණි. ඔහු මෙම වශීය දැන සිටි අතර… ඔහු විසින් එය අමනුෂ්‍යයින් මත භාවිතා කර තිබුණි. එය ඉතා සංකීර්ණ ඉන්ද්‍රජාලයක් වූ අතර, ඔහුව නිදහස් කිරීමට නම් ආදරණීයයෙකුගේ රුධිරය අවශ්‍ය විය. අති මහත් ප්‍රේමයේ බන්ධනයක්, වින්දිතයාගේ ආත්ම සහකරුට පමණක් බිඳ දැමිය හැකි අන්දමේ බලවත් බන්ධනයක් විය යුතුය.

එය සැමවිටම ආත්මයන් රහිත වැම්පයර්වරුන් සමඟ ක්‍රියාකර තිබුනේ ඔබට ආත්ම සහකරුවෙකු ඇමතීමට ආත්මයක් තිබිය යුතු බැවිනි. ලේ වැගිරීම් ගැන හැර වෙන කිසිවක් ගැන නොදන්නා ඔහුගේ භූතාවේශවූ ඝාතක සහෝදර සහෝදරියන් ලෝකයෙන් පහ කිරීම සඳහා ඔහු කිහිප වතාවක්ම මේ මන්ත්‍රය භාවිතා කර තිබුණි.

තමාගේ අවාසනාවන්ත විනාශය ගැන තිබූ හොල්මන් මතකය පිළිබඳව කේන් ද්වේශ සහගතව සිනාසුණේය… මන්ද ඔහුට ආත්ම සහකරුවෙකු නොමැති විය. අවම වශයෙන්, ඔහුට එවැනි තේරුම් ගැනීමට පහසු පුද්ගලයෙකු හමු වී නොතිබිණි. ඔහුට එවන් කෙනෙකු හමුවී තිබුනේ නම්, ලේ ගැලීම අතරතුර ඇය ඔහුගේ සොහොන මත පැකිලී වැටෙනු ඇතැයි සිතිය නොහැක. මලාකී කොතරම් සිත් තැවුලක්ද… ඔහු තම බිරිඳට කොතරම් ආදරය කළාද යත්, ඔහුට අවශ්‍ය වූයේ කේන් හටද එවැනි ප්‍රේමයක ගැඹුර පෙන්වා ඒ ගැන ආශාවෙන් සිටීමට සැලැස්වීමයි.

ඔහු ඒ සඳහා ආශාවෙන් බලා සිටියේය. බොහෝ විට ඔහු කඳුළු සලමින්, දෙවියන් ඇහුම්කන් දෙන ඕනෑම දෙයක් ඉල්ලමින්, ඔහුගේ ආත්ම සහකාරිය තමා වෙත ගෙන එන ලෙස ඉල්ලා සිටියේය. ඔහු තම මිතුරාගේ බිරිඳ සැබවින්ම මරා දැමුවේ නම් එය සාධාරණ දඬුවමක් වනු ඇත. නමුත් ඔහු එවැනි අපරාධයකින් නිර්දෝෂී විය.

එක් රාත්‍රියක, ඔහු සියලු බලාපොරොත්තු අතහැර දමා බොහෝ කලකට පසු… ඔහුට එය අසන්නට ලැබුණි. මලාකීගේ පැහැදිලි ගෙරවීමේ ශබ්දය මගින් ඔහුගේ උමතු අභ්‍යන්තර ජවනිකාවන් බිඳී ගිය අතර තවත් සත්වයෙකුගේ කෝපාවිෂ්ඨ කෑගැසීම ඒ සමගම නැගුණි. එවිටම ඔහුගේ මහත්වූ පුදුමයට ඔහුට ඇසුනේ, ඔහුට කෙලින්ම ඉහළින් සිටි කුඩා දැරියකගේ කටහඬක් මගින් තම බලු පැටියාට කරදර නොකරන්නැයි ඔවුන්ට කරන්නාවූ කෑගැසීමකි.

ඇගේ බියට පත් කුඩා හඬ, ඔහු තුළවූ යම් දෙයක් බිඳ දමා ඔහුට නිදහස් වීමට දැඩි ආශාවක් ඇති කළේ, එමගින් රාත්‍රි මෘගයන්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට ඔහුට හැකි වන බැවිනි.

‘මලාකී ඔයාගේ බලු පැටියාට කරදර කරන්නේ නැහැ පොඩි ළමයෝ’ කේන් තම මනසින් කීය.

එය සත්‍යයකි. මලාකී කිසිම ආකාරයකින් ඔහුට දරුණු ලෙස වරදක් කර ඇති කෙනෙකුට මිස වෙන කිසිවෙකුට හිංසා නොකරනු ඇත… විශේෂයෙන් දරුවෙකුට. තම මිතුරා තමාට ඉහළින් කොතැනක හෝ ළඟ සිටින බව දැනගත් කේන්ට ජීවිතයේ නැවත පණ ගැන්වීමක් දැනුනි. තරුණිය නැවතත් කෑගසන විට ඔහුට තදින් කේන්ති ගිය අතර යමක් පොළොව මත තදින් වැටෙන හඬ ඔහුට ඇසුනි. රුධිරය… මෘදු පොළොව හරහා ඔහු දෙසට ගලා එන නැවුම් රුධිරයෙහි සුවඳ ඔහුට දැනුනි.

එය ඔහුට මෙතෙක් සිදුවූ වඩාත්ම පිළිගත හැකි දෙය විය. එහි සුවඳ ඔහුගේ මනස ආක්‍රමණය කළ අතර ඔහුට ඒ සඳහා ළඟා විය නොහැකි බව දැන දැනත් ඔහු වඩා උමතුවකට තල්ලු වී ගියේය. ඔහු එකදු බීමක් හෝ නොමැතිව මෙතරම් කාලයක් සිටීමෙන් දුර්වල වී සිටියේය...මරණය වෙත පිපාසයක් සහිතව, නමුත් කිසි විටෙකත් මරණයට පත්නොවී. ඔහුගේ එක් ඇඟිල්ලක් සෙමින් සෙලවෙන බව ඔහුට දැනුනේ මේ අවස්ථාවේදීය.

කේන් මේ පිළිබඳව තම අවධානය යොමු කළ අතර ඔහුගේ සිතේ ඉතිරිව තිබූ ශක්තියෙන් එය චලනය කිරීමට උත්සාහ කළේය. තමාට ඉහළින් බිමෙහි සිට දැනුණු රස්නය මත පදනම්ව ඔහුට හැඟුනේ දින ගෙවී යන බවකි. රුධිරයේ සුවඳ දැන් ඔහු වට කර පැතිරී තිබූ අතර, ඔහු ඉන් ධෛර්යමත්ව තම කාර්යය ඉදිරියට ගෙන ගියේය. අවසානයේදී, ඔහුගේ දෑත් සෙමින් වැඩ කරාන්නාවූ තත්වයකට ගෙන ඒමට ඔහුට හැකි වූ අතර, ඔහුගේම මිනීවල හාරා එලියට පැමිණීමට උත්සාහ කිරීමේ මන්දගාමී ක්‍රියාවලිය ආරම්භ කළේය.

තවත් දින ගණනක් ගෙවී ගිය අතර අවසානයේ ඔහුගේ අත පස් ස්ථරය කඩාගෙන පොලව මතුපිටට ගියවිට ඔහු ප්‍රීතියෙන් සතුටු කඳුළු සැලුවේය. මෙතෙක් කල් සිටි අපිරිසිඳු ස්ථානයෙන් තම මුහුණ එලියට ගත් කේන්, දෑස් විවර කර ඉහළ බලා තරුවලින් පිරි කළු අහසක් දුටුවිට උන්මන්තක අයුරින් හඬනගා සිනාසුනේය. පොලව දෙස ආපසු හැරී බලන විට හෙතෙම කුඩා රෙදි කැබැල්ලක් දුටු අතර එහි වියළී ගිය රුධීර බින්දු කිහිපයක් තිබෙනු දුටුවේය. ඔහු එය රැගෙන ඔහුගේ නාසයට තදින් අල්ලා ගත්තේ ඔහුව නිදහස් කළ රුධිරයේ සුවඳ ආශ්වාස කරමිනි.

තම ගැළවුම්කරුවාගේ මතකය ඔහුගේ අත්ලෙහි තදින් මිරිකාගෙන, ඔහු තම ශරීරයේ ඉතිරි කොටස වලෙන් එලියට ඇද ගත්තේය. මලාකිව සහ ජගුවර්ගේ බිරිඳව ඇත්තෙන්ම මරාදැමූ මාරුවෙන්නා ඔහුගේ සොහොනෙන් අඩි කිහිපයක් දුරින් මිය ගොස් සිටිනවා ඔහු දුටුවේය.

ඔවුන් දෙස බලා තම දෑස් වනාන්තරය දෙසට යොමුකළ විට, ඔහුට තේරුම් ගියේ එම දැරිය එම ස්ථානයේ සිටින්නට ඇත්තේ බොහෝ කලකට පෙර බවය. නමුත් කේන් විශ්වාස කළේ එම දරුවා තම ආත්ම සහකාරිය බවයි. මලාකි ඔහුව බැඳ තැබූ මන්ත්‍රය බිඳ දැමිය හැක්කේ වෙන කාටද?

ගැහැණු ළමයා සෙවීමට යෑමට තරම් ශක්තියක් නොතිබූ කේන්, මලාකි වෙත බඩගාගෙන පැමිණ, ඔහුගේ කම්මුල මෘදු ලෙස ස්පර්ශ කළේය. ඔහුගේ මුහුණ ඔහු දෙසට හැරවූ විට කේන්ගේ හුස්ම ඔහුව ව්‍යාකූල තත්වයකට පත් කළේය. මලාකී ලේ පැහැති කරාබුවක් පැළඳ සිටියේය. ඔහුගේ කරාබු!

මහත් කේන්තියකින් හා පියවි ඇසට නොපෙනෙන වේගයකින් කේන් කරාබුව තම අතෙහි දරාගෙන නැගී සිටියේය. නොකළ වරදකට තමාව හසු කළ මිනිසා වන නතානියෙල් දෙස බැලූ කේන්, අවට අන්ධකාරය සළුවක් මෙන් තමා වටා එක්රැස් කොට ඒ තුල නොපෙනී ගියේය.

කේන් හුස්ම පහතට හෙළා එය තුනී මීදුමක් මෙන් සුළඟට ගසාගෙන යාමට පෙර තමා ඉදිරිපිට තිබෙනු බලා සිටියේය. ඔහු පසුගිය දස වසර ගත කළේ රටින් රටට, මහාද්වීපයෙන් මහාද්වීපයට යමින් වසර තිහක සිර දඬුවම විඳින කාලය පුරා ඔහුට අහිමි වූ සෑම දෙයක්ම ඉගෙන ගනිමිනි.

වනාන්තරයේ ගසක් තුළ කුහරයක සැඟවී සිටි සුදු පැහැති යෝර්කි බලු පැටියෙකුගෙන් පටන් ගෙන ඔහු සෙමෙන් සෙමෙන් ඔහුගේ ශක්තිය නැවත ගොඩ නංවා ගත්තේය. එය කිසියම් කෙනෙකුගේ සුරතල් සතෙකු වූ අතර එවැනි දෙයක් කිරීම ගැන ඔහුට පසුතැවීමක් දැනුනද තමන්ව පෝෂණය කොට ශක්තිමත් වීමේ අවශ්‍යතාවය, ඔහු කල වරදට වඩා බලවත් විය.

බලු පැටියාව අයිති වූයේ තමාව නිදහස් කළ දරුවාට බව ඔහුට හැඟුනේ ඌගෙන් පෝෂණය වීමෙන් පසුවය. කුඩා ලොම් බෝලය තුළ තවමත් ජීවිතය සුළු වශයෙන් දැනෙමින් තිබුන බව දැන ඔහු කළේ නරකම දෙයකි. තමාගේම මැණික් කටුව සපා කෑ කේන්, බල්ලාගේ රෝස පැහැති දිව මතට ලේ බින්දු කිහිපයක් බලෙන් මිරිකා හැරී අතර පසුව ඔහු කරන්නේ කුමක්දැයි කල්පනා කරමින් බලු පැටවාව බිම තැබුවේය. එය කිසි විටෙකත් සිද්ධ නොවනු ඇත… එසේ වේද?

ඇය ඔහුගේ ජීවිතය දෙවරක් බේරා ගෙන තිබෙන නමුත් ඒ බව පවා නොදැන සිටියාය. ඔහුගේ මතකයේ තැන්පත්ව තිබූ ඇයගේ බියට පත් කටහඬ, තවමත් ඔහුව ගැඹුරු නින්දෙන් අවදිකිරීමට හැකි බලයකින් යුක්ත විය. ඇයව දැකීමට හැකිනම්, යයි ඔහු ප්‍රර්ථනා කළේය... තමා තුළ හොල්මන් කළ කටහඬ සමග යාමට හැකි රූපය දැකීමට සුළු මොහොතක් වූවත් සෑහෙන බව ඔහුට දැනුණි.

ඔහු තම සාක්කුවට අත දමා කුඩා කරපටිය ගෙන එහි තිබූ අස්ථියක හැඩැති ලෝහ ඇමුණුම දෙස බැලුවේය. ඔහු පවුලේ නම දැන සිටි නමුත් එහි ලිපිනය තවදුරටත් වලංගු නොවීය… වසර ගණනාවක් පුරාවට නොතිබුණි. අවසානයේදී ඔහු පරිගණකයක් ක්‍රියා කරවීමට ඉගෙන ගත් විට, ඔහු ඔවුන් ගැන සොයා බැලූ නමුත් දැරියගේ දෙමාපියන් මිය ගොස් ඇති බවත් නිවස විකුණා දමා ඇති බවත් දැනගත්තේය. ඔහුව නිදහස් කළ තැනැත්තා, තමා විශ්වාස කළ ආකාරයට ඔවුන්ගේ දියණිය, කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබිණි.

කේන් තම සිගරට්ටුව විසි කර එය වම් පාදයෙන් පොඩිකර දැමුවේය. ලොස් ඇන්ජලීස් වෙත ආපසු පැමිණි වහාම ඔහු මලාකිට අයත්ව තිබූ සහ ඔහු ජීවත් වූ සමාජ ශාලාවට ගොස් සොයා බැලු අතර ඔහුගේ දරුවන් එය විකුණා දමා නව ලිපිනයක පදිංචිවී ඇතිබව දැනගත්තේය. ඔවුන්ගේ නව ස්ථානය, වරෙක අතහැර දමා තිබූ ගබඩාවක් මිස වෙන කිසිවක් නොවුන අතර ජගුවර්වරුන් මෑතකදී එය ප්‍රතිසංස්කරණය කර කාලයට ගැලපෙන ආකාරයට රාත්‍රී සමාජ ශාලාවක් බවට පත් කර තිබුණි. මලාකිගේ දරුවන් දැන් එම ආයතනය පවත්වාගෙන යති.

මලාකී තම පළමු බිරිඳට ආදරය කෙරූ අන්දමට ඔහු නැවතත් විවාහ වීමට තම මනස සාදා ගත්තේ කෙසේදැයි කල්පනා කරමින් ඔහු තම හිස දෙපසට වැනුවේය. ඇය ඔහුගේ ආත්ම සහකාරිය වූ අතර මාරුවන්නන් ඔවුන්ගේ ලිංගික රුචියන් නිසා ප්‍රසිද්ධ වුවද, ඔවුන්ගේ ආත්ම සහකරු හෝ සහකාරිය මුණගැසුණු පසු තවත් කෙනෙකුට ආදරය කිරීම අසීරු විය.

කේන් ඒ පිළිබඳව සොයා බැලූවිට, ඔහු දැනගත්තේ මලාකීගේ නව බිරිඳ ඔහුට දාව දරුවන් හතර දෙනෙකුට උපත ලබාදී ඇති බවත්, පසුව ඔවුන්ගේ බාල පුත් නික් ගේ දරු ප්‍රසූතියේදී මිය ගිය බවත් ය.

තමන් පොලව තුල සිටින විට ඝෝෂාව ඇසුණු රාත්‍රියේදී මලාකී මියගොස් ඇති බව ඔහු දැනසිටි නමුත්, කේන්ට තවමත් ඔහුගේ ඇතුළාන්තයෙහි කටුවකින් අනින්නාක්මෙන් වේදනා දුන් පළිගැනීමේ අවශ්‍යතාවය දැනුනි. සෑම වැම්පයර්වරයෙකුම පාහේ අන්ධකාරයෙන් උපත ලබන අතර සමහර විට සින් ඔහුගේ නපුරු සහෝදර සහෝදරියන්ට වඩා වෙනස් වීම ගැන සිතූ ආකාරය වැරදි විය. අවුරුදු තිහක්වූ වධ හිංසා කාලය තුළදී ඔහුගේ මනස ක්‍රියාකාරී වී නොමැති නිසා ඔහුට සැලකිය යුතු හානියක් සිදු වී ඇතැයි යන්න අතිශයෝක්තියක් නොවේ. ඔහුගේ සිත තවමත් තිබුනේ මලාකී ඔහුව වළලා දැමූ අඳුරු ස්ථානයේය.

කේන් දැනසිටි ආකාරයට මුලින්ම රුධිරය සෙලවූයේ ජගුවර් වරුන්ය. ඔහු දැන් ආපසු පැමිණියේ ඔහුගේ ගෞරවය කාරුණිකව… මලාකීගේ දරුවන්ගෙන් පටන් ගෙන මාරුවන්නන්ගේ සමස්ත සංහතියටම පෙන්වීමටය. ඔහ්, නමුත් ඔහුට එතැනින් නැවතීමට අදහසක් නැත. ඊළඟට ඔහුව නොකළ වරදකට හසුකළ අනිත් මාරුවන්නාගේ දරුවන්… නතානියෙල් විල්ඩර්ගේ දරුවන්.

ඔහුට රුධිරය ලබා ගැනීම සඳහා අනුගාමිකයන් නිර්මාණය කිරීම දුෂ්කර නොවීය. අභ්‍යන්තර නගරයේ තිබූ ගොතික් භූගත දර්ශනය ගැන කේන් තවමත් මවිතයට පත්ව සිටියේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිහින මැව්වේ ඔහු කෙසේ විය යුතුද යන්න ගැන පමණි ... ගොත් ගෝත්‍රිකයෙකු වෙනුවට සැබෑ වැම්පයර් කෙනෙකු විය යුතුය.

ඔහුට කළ යුතුව තිබුණේ එකෙකු තෝරා ඉන්පසු ඔහුගේ ඒ ආත්මය රහිත අනුගාමිකයාව අතහැරීම පමණි. ඔහු කණ්ඩායමේ වඩාත්ම භයානක තැනැත්තා තෝරාගෙන තිබිණි… දැනටමත් අන්ධකාරයට ඔහුගේ ආත්මය අහිමි වී ඇති ලෙස පෙනෙන්නට තිබූ තැනැත්තා. මිනිසෙකු ලෙස මානසික අස්ථාවරභාවය, ආවේගශීලී හැසිරීම් පෙන්වමින් කටයුතු කළ රැව්න්... තම ගොතික් ගෝත්‍රයෙන් නෙරපා හරින ලද, ලේ සඳහා සැබෑ අවශ්‍යතාවයක් ඇතිවීමට බොහෝ වේලාවකට පෙර සිටම ඒ ගැන කුසගින්නෙන් සිටින පුද්ගලයා.

ද්‍රෝහී ක්‍රියාවන් කරන්නාවූ, පාවා දෙන්නාවූ මාරුවන්නන් ගැන කේන් මෙතෙක් පැවසූ එකම පුද්ගලයා රැව්න්ය. ඔහු රැව්න්ට ඒ දේවල් කීවේ මන්ද කියා ඔහු නොදැන සිටියේය ... සමහර විට කම්මැලිකමට විය හැකියි.

කේන් විසින් මෙම තක්කඩියාව නගරයට නිදහස් කළේය. රාත්‍රියේ දරුවෙකු ලෙස ඉපදීමට පෙර රැව්න් ලෝකය සමඟ කෝප වී සිටි අතර කේන් දැන් එම කෝපය පිටකිරීම සඳහා දොරක් විවර කරදී තිබුණි. කේන්ගේ නාමයෙන් පළිගැනීම සඳහා රැව්න් එය භාරගෙන තිබූ අතර ආත්මයක් නැති වැම්පයර් ඔහුගේ නව හැකියාවන් උපරිම ලෙස භාවිතා කළේය.

මලාකිගේ පවුලේ සෙසු තැනැත්තන්ව වැට්ටවීම සඳහා වූ ඔහුගේ සැලැස්මට එය හොඳින් ගැලපුන හෙයින් රැව්න්ට කතා කොට එම කාර්යයෙන් ඔහුව ඉවත් කිරීම ගැන කතා කිරීමට ඔහු උත්සාහ නොකළේය. ඔහු රැව්න්ගෙන් මාරුවන්නන් ආරක්ෂා කරන්නේ ඇයි? ඔහු කී උපරිම දෙය නම් දරුවාට පෝෂණය වීමට මිනිසුන් මරා දැමිය යුතු නැති බවත්, ඔහුට අවශ්‍ය නැතිනම් කිසිඳු හානියක් සිදු නොකරන ලෙසත් පැවසීමයි. ඒ වෙනුවට මරණයට පත් කිරීමට රැව්න් තෝරාගෙන තිබීම ඔහුගේ වරදක් නොවේ.

කේන් මැදිහත්වූ එකම අවස්ථාව වූයේ රැව්න් තම පළමු ඝාතනය සිදුකල අවස්ථාවයි. මිනිසුන්ට පහසුවෙන් පෙනෙන සේ වැම්පයර්වරයෙකු ලේ බිවු සලකුණ සමඟ ඔහුව අතහැර යාමට පෙර කේන් රැව්න්ව නැවැත්වීය. ඔහුගේ ආත්මාරක්‍ෂාව තුළ මුල් බැසගෙන තිබූ ඔහුගේ කාරුණික රහස රැව්න් සමඟ බෙදා ගැනීමට ඔහුට අමතක වී තිබුණි. කේන් පසුව රැව්න්ට කියාදුන්නේ දත් ලකුණු හරහා කපා එය කෘෘර මිනීමැරුමක් ලෙස පෙන්වන්නේ කෙසේද යන්නයි.

බලධාරීන්ට සොයා ගැනීම සඳහා සඳ රැඟුම අසල තමන්ගේ ගොදුරු බවට පත්වූවන් තැබීමට රැව්න් කටයුතු කර තිබිණි. ඇත්තෙන්ම එය නියම සැලසුමක් විය. බොහෝ වැම්පයර්වරුන් සහජයෙන්ම දුෂ්ට වූ බැවින් කේන් ඔහුගේ නොමැරී සිටි ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ මිනීමරුවන්ට ලඟා විය හැකි පරිදිය. මෙම පිරිමි ළමයා ඝාතනය කරන ආකාරය ඔහුගේ වර්ගයට ස්වාභාවයෙන් ලැබුණු දෙයක් ලෙස පෙනුණි.

කෙටි කාලයක් තුලදී සිදුවුනාවූ මේ මිනීමැරුම් මාලාව දැකීමට සින් අවදියෙන් සිටියා නම්, රැව්න් මරා දැමීමට හෝ මිනීවළට බැඳ තැබීම මගින් ඔහු ලෝකය දුකින් මුදවාගන්නට ඉඩ තිබුණි. දැන් කේන්ද එවැනි දඬුවමක් අත්විඳ ඇති හෙයින්, ඔහු සිතුවේ ඉක්මන් මරණයක් තෝරා ගැනීම සුදුසුය කියාය.

පලවාහැරීමට පෙර, ඔහු තවත් වැම්පයර් කෙනෙකු වූ මයිකල් සමඟ මිත්‍රව සිටියේය. ඔවුන් දෙදෙනාටම මතක තබා ගැනීමට නොහැකි හෝ මතකයක් අවශ්‍ය වීමට වඩා වැඩි කාලයක් ඔවුන් එකට මිත්‍රව සිටියහ. ඔවුන් දෙදෙනාටම ලේ ගලක් තෑගි වශයෙන් ලැබුනේ ඔවුන්ගේ ආත්මය ඔවුන් සමග රඳවාගෙන සිටි නිසාය ... ඔවුන් සමගම මයිකල්ගේ සහෝදර ඩේමන්.

මයිකල් හොඳ මනුෂ්‍යයෙක් විය ... ඔවුන් පවසන ලෙස තවමත් දේවදූතයින්ගේ පක්ෂයේ සිටින කෙනෙක්, නමුත් ඕපාදුප මගින් ඔහු දැනගත්තේ ඩේමන් අඳුරු පැතිකඩක් වර්ධනය කර එයට තම සහෝදරයා ගෙන් පලිගන්නා බවයි. සමහර විට ඔහුගේ මෙහි ඇති වැඩ අවසන්වූ පසු ඩේමන් හමුවන්නට ගොස් යම් යම් පුරුදු උගන්වන්නට ඔහුට හැකිවනු ඇත. මයිකල් තම සොහොයුරාට ප්‍රේම කළ නිසා, මේ හදිසි සහෝදර එදිරිවාදිකම් ගැන කේන් පුදුමයට පත් විය... නමුත් සෑම දේ වෙනස් වීමට බොහෝ ක්‍රම තිබුණි.

සොහොනින් තමා එලියට පසු තමා තුළ නලියන්නාවූ නපුරුකම මයිකල් දැන ගන්නවාට කේන් කැමති නොවීය. පසුගිය සති කිහිපය තුළ ඔහු දුර සිට මයිකල් දෙස බලා සිටීමින් තම කාලය ගත කළේය. මයිකල් සහ ජගුවාර්ගේ වැඩිමල් පුත්‍රයා වන වොරන්, දැන් මිතුරන් බව ඔහු දැන සිටියේය ... ඔහු සහ මලාකි පෙර සිටියාක් මෙන්.

මාරුවන්නන් ද්‍රෝහීන් වූ අතර මයිකල් හට තවමත් එම කුඩා කාරණය තේරුම් ගැනීමට නොහැකිවී ඇත. මාරුවන්නන් මාර්ගයෙන් ඉවත් කිරීමෙන්, ඔහු මයිකල්ට අවසන් උදව්ව ලබා දෙනු ඇත.

කේන් තම අත ඔසවා ලේ ගල සවි කර තිබූ කරාබුව ස්පර්ශ කරමින් සිතුවේ මේ කරාබුව මගින් මිනිසුන් මැරීමට තමන්ට සෑම විටම සීමාබන්ධන පනවා ඇති බවය. ඔහුගේ ආත්මය සැබවින්ම දුෂ්ට නම්, ලේ ගල තුළ ඇති ඉන්ද්‍රජාලය ඔහු වෙනුවෙන් ක්‍රියා නොකරනු ඇත.. එම සරල කාරණය මලාකි නොසලකා හැරියේ කෙසේදැයි ඔහු නිතරම කල්පනා කළේය ... ඔහුගේ නිර්දෝෂීභාවය පිළිබඳ සාක්ෂි මලාකි ඉදිරිපිට තිබියදීම.

එයට කමක් නැත ... ඔහු නොකළ වරදකට වසර තිහක් සිරගෙදරක ගත කළේය. "ආපසු ගෙවීම අපායක් වනු ඇත මගේ මිත්‍රවරුනි."



*****



"ටෙලි මාර්කටර් කෙනෙක්ද?" චැඩ් ඇසුවේ සිනහව සඟවා ගැනීමට උත්සාහ කරමින් වන අතර ඔහුගේ කුඩා සහෝදරිය දුරකථනය බිත්තියෙන් වැටීමට හැකිවන තරම් තදින් රිසීවරය එයට තැබුවාය. එය මහා ශබ්දයක් සමග බිම වැටුණි.

එන්වී තම සහෝදරයා දෙස හැරී බැලීමට පෙර දුරකථනය ශාලාවට විසිවී යන ලෙස පයින් ගැසුවේ, එය තම පෙම්වතාගේ හිස බව සිතාගනිමිනි. "ඔයාලා ඔක්කොම බල්ලන් ද, නැත්නම් මම පෙම් කරපු අය විතරක්ද?"

උපහාසයෙන් යටත් වීමක් මවා පාමින් චැඩ් ඔහුගේ දෑත් ඉහළට ඔසවා, “මගේ අදහසේ හැටියට ගැහැනු ළමයිනුත් නපුරුයි. දැන් සන්සුන් වෙලා, ලොකු අයියට වෙච්ච දේ කියන්නකෝ.”

එන්වී ඇගේ නළල සීතල බිත්තිය මත තැබුවාය. එක් කඳුළු බිඳුවකටවත් තම ඇසින් පිටවීමට ඉඩදීම ඇය ප්‍රතික්ෂේප කළාය. ඔහු ගැන හඬා වැටෙන්නට තරම් ඇය තුල ට්‍රෙවර්ට කැමැත්තක් නොතිබූ අතර එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් අඩුපාඩු ඇති පිරිමි ළමයින් ගැන ඇය බරපතල ලෙස වෙහෙසට පත් වූවාය. "ජේසන් තමයි මට කතා කරේ, මාත් එක්ක එලියට යන්න පුලුවන්ද අහන්න. එයා හිතලා තියෙන්නේ මම දැන් පෙම්වතෙක් නැතුව තනිකඩව ඉන්නවා කියලා. මොකද එයාට අලුත් නැටුම් සමාජ ශාලාවකදී ට්‍රෙවර් හම්බවෙලා. ට්‍රෙවර් ඉඳලා තියෙන්නේ තවත් ගැහැණු ළමයෙක් එක්ක නට නටයි.”

චැඩ් හිස සැලුවේය. ඔහුගේ සහෝදරිය ට්‍රෙවර්ව ඇයගේ ග්‍රහණයට ගත් පසු ඔහුට ට්‍රෙවර් ගැන අනුකම්පාවක් දැනුනේ නැත. "එහෙනම් අපි ක්ලබ් එකට යමුද?" ඔහු ඇහි බැම උස්කර ඇසුවේ කුමන හේතුවකටවත් එය බාධාවක් කර නොගතයුතු බව අඟවමිනි.

"මට විනාඩි දහයක් දෙන්න ලෑස්ති වෙන්න" එන්වී පැවසුවේ, එම අදහසට ඇයගේත් කැමත්ත ඇතිබව ප්‍රකාශ කරමිනි.

චැඩ් හිස සලා සෝෆාවේ කෙලවරක වාඩි වී ප්‍රවෘත්ති බැලීමට දුරස්ථ පාලකය එබුවත් ඔහු ඒ වෙත අවධානය යොමු නොකළේය. ඇය ට්‍රෙවර් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීම ඔහුට කිසිසේත් අවශ්‍ය නොවිනි. සෑම දෙනාම තම සැබෑ ස්වරුපය දැනගැනීම වැලැක්වීම සඳහා ඒ පුද්ගලයා ඇමරිකානු, පොහොසත්, උසස් විද්‍යාලයකට ඇතුලත්වීමේ සූදානම් කාලයක් ගතකරන්නෙකු මෙන් ක්‍රියා කළ බව ඔහු දැනසිටි නමුත් එයින් අදහස් කරන්නේ ඔහු සැබවින්ම කවුරුන්ද යන්න ගැන එන්වීට බොරු කීම ගැන, තමා කැමතියි යන්න නොවේ. ට්‍රෙවර් ඇය සමඟ නිදා ගැනීමට යන්නේ නම්, අවම වශයෙන් ඇය සිටින්නේ කුමන ආකාරයේ කෙනෙකු සමගද යන්න පිළිබඳ සත්‍යය ඇය දැන සිටිය යුතුය.

බොරු කිරීමකින් සබඳතාවක් ආරම්භ කිරීම හොඳම ක්‍රමය නොවේ. ඔබ බොරු කීමට යන්නේ නම්, ඔබ මුලින්ම එයට සම්බන්ධ නොවී සිටිය යුතුය. ඔහු ට්‍රෙවර්ව අවසන් වරට දුටු විට සේවා ස්ථානයේ කොනකට ඔහුව ගෙන ගොස් රහස් නිලධාරියාට පැවසුවේ ඔහු කරන දේ ගැන එන්වීට සත්‍යය පවසන ලෙස හෝ නැතහොත් ඇයගෙන් ඈත්ව සිටින ලෙසයි. ට්‍රෙවර් තමාටම හැර, වෙන කිසිවෙකු කියන දෙයකට සවන් නොදී සිටියේ ඔහුගේ වරදක් නිසා නොවේ.

අවන්හලේ තමාගේ රහසිගත වැඩ කිරීමට, ට්‍රේවර් සමහරවිට එන්වීව භාවිතා කර ඇතැයි සිතීම ඔහුගේ කෝපයට හේතු විය. ඇය සමාජ ශාලා ගණනාවක බීම පිලිගන්වන්නියකු වීමත් සමඟම, ට්‍රෙවර්ට එම ස්ථාන මහජනයාට විවෘත කිරීමට පෙර ඇය පසුපසින් යාමට සහ ඒවා වසා දැමීමෙන් පසු බොහෝ වේලාවක් ඒවායේ රැඳී සිටීමට හේතුවක් ලැබුණි. මිනිසුන් නොමැතිව ඒ ස්ථානවල රැඳී සිටීම, ට්‍රෙවර්ට තවත් බොහෝ කරුණු කාරනා රහසිගතව සෙවීමට ඉඩ ලබාදුන් අතර එන්වී සිදුවෙන්නාවූ කිසිවක් තේරුම් නොගත්තාය.

විශේෂ බලකා කණ්ඩායම විසින් ඔහුව ඒ වෙත ඇදගෙන යාමට උත්සාහ කළද, චැඩ් රහස් නියෝජිතයෙකුව සිටීම ප්‍රතික්ෂේප කළේය. ඔහු මෙතෙක් ඔවුන් සමග පැමිණ ඇති ලඟම දෙයනම්, දොරවල් වලට පහරදී මිනිසුන් යටත් කිරීමට කාලය පැමිණි විට ඒ කාර්යය කළහැකි ඔවුන්ගේ ප්‍රියතම පුද්ගලයා ලෙස අමතනු ලැබීමයි. එලෙසම එය ඔහුට ගැලපුණි. ඔහු බොහෝ දුරට, කතාබස් කරමින්, කඩදාසි අවුස්සමින් යමෙකුගේ කුණු ජරාවන් සෙවීමට උත්සාහ කරනවාට වඩා නරක මිනිසෙකුට පයින් ගැසීමට ප්‍රිය කළේය.

අනෙක් අතට, දැන් ඔවුන්ගේ මිත්‍ර ජේසන්, එන්වී හට වඩා හොඳ පෙම්වතෙක් විය හැකිය. ඇය ජේසන් සමඟ පාසැල් ගිය නමුත් ගැටලුව එයම විය. උසස් පාසැලේදීද, නිවසේදීද ජේසන් ඇය සමග කෙතරම් සමීපව ව සිටියාද යත්, එන්වී ඔහුව සහෝදරයෙකු ලෙස සැලකුවාය ... තවත් පිරිමියෙකු ලෙස නොවේ.

ජේසන්, පාසලෙන් ඉවත් වූ පසු කෙලින්ම ඇන්ජලීස් ජාතික වන සංරක්‍ෂක සේවයට බැඳුන අතර එතැන් පටන් එම රැකියාවම කළේය. එන්වී තවමත් ජේසන් සමඟ ඇසුරු කිරීමට ප්‍රිය කළේය. එලෙසම තබතාද, වන සංරක්ෂණ සේවයේ ජේසන්ගේ ඒකකයේම සේවය කල බැවින් ඇයට ඇයගේ හොඳම මිතුරිය වූ තබතා ද නිතර දැක ගැනීමට හැකි විය.

චැඩ් සෝෆාවෙන් නැගිට, එන්වීගේ නිදන කාමරයේ දොරෙන් පිටත සිටගත්තේය. ඔවුන්ගේ දෙමාපියන් කාර් අනතුරකින් මිය ගියපසු පසුගිය වසර හතර තුළ ඔවුන් කාමර සගයන් වී සිටි අතර ඔවුන් දෙදෙනා කදිම පෑහීමක් විය. ඔහු පොලිස් නිලධාරියෙකු වූ අතර ඇය නගරය තුළ සමාජ ශාලා කිහිපයකම බීම පිළිගන්වන සේවය සැලසූවෙකු වුවාය.

ඇය “සැබෑ” රැකියාවක් නොකිරීම ගැන ඔහු කිසිවක් නොකියා සිටීමට එකම හේතුව වූයේ බොහෝ රාත්‍රින්හිදී ඇය ඔහුට වඩා වැඩියෙන් මුදල් ඉපයීමයි. නිවස සඳහා කුලී ගෙවීමේදී එන්වී විසින් සාමාන්‍යයෙන් එය ගෙවන ලද අතර අනෙක් අවශ්‍යතා සියල්ල ඔහු බලා ගත් නිසා එය ඔහුට වඩාත් උචිත තත්වයක් විය.

"මොන සමාජ ශාලාවද?" ඔහු දොරෙන් මෙපිට සිට ඇසුවේය.

"අර අලුත් එක, සඳ රැඟුම කියලා කියන්නේ" එන්වී ඇගේ දිගු ස්ට්‍රෝබෙරි පැහැති කොණ්ඩයේ කොටසක් පෝනිටේල් එකක් සිටිනසේ ගැටගැසූ අතර අනෙක් කොටස කඩා වැටෙන්නට ඉඩ හැරියාය. "අපි එහෙ ඉන්නකොට මට බීම පිළිගන්වන කෙනෙක් විදිහට එතෙන්ටත් ඉල්ලුම් කරන්න පුළුවන්."

චැඩ්, ඉරියව් මගින් තම නොසතුට පෙන්වීය. "නගරයේ අන්තිම හරියේ තියෙන්නේ ඒක නේද?" ඇයගේ පිළිතුර එනතෙක් බලා නොසිට ඔහු නැවත තම කාමරයට ගියේය. මෑතකදී, නගරයේ කෙලවරේ සිදුවෙන්නාවූ දේවල් තරමක් භයානක වී තිබුණි. අතුරුදහන් වීම් වඩාත් කැපී පෙනෙන තර්ජනය වූ අතර සමාජ ශාලාවේ අසලින් මළ සිරුරු කිහිපයක්ද හමුවී තිබුණි.

මේ දක්වා ඔවුන්ට ඒ මරණ සහ සඳ රැඟුම අතර සෘජුවම සම්බන්ධ කළ හැකි කිසිවක් නොතිබුණි, නමුත් මරණයට ගොදුරු වූ සියල්ලෝම එම සමාජ ශාලාවට යන අය වූහ. චැඩ් සහ තවත් බොහෝ දෙනෙකුට සැක සහිත බවක් ඇතිවූයේ එම මරණ සිදුවී ඇති කාල පරාසය අනුවය. ඝාතකයා ලෙස සැකකළ හැකි පුද්ගලයෙක් එම සමාජ ශාලාවේ සැරිසරමින් සිටීද නැද්ද යන්න පිළිබඳව යම් ප්‍රශ්නයක් මතු වී තිබුණි. නවතම ගොඳුරු බවට පත්වූ කිහිප දෙනෙකු අවසන් වරට දැක තිබුනේ සමාජ ශාලාව තුළදීය. පොලිස් නිලධාරියෙකු වශයෙන් ඔහුට එහි කිසියම් සම්බන්ධතාවයක් තිබීමේ සම්භාවිතාව නොසලකා හැර සිටිය නොහැකි විය.

ඔහුගේ තුවක්කුව සහ ලාංඡනය ඒ වන විටත් තම කාරයේ තිබූ හෙයින් චැඩ් කුඩා ටේසරය හෙවත් කුඩා විදුලි ධාරාවක් මගින් ජනිතවන කම්පනය තුළින් තම ඉලක්කයන් අක්‍රිය කිරීමට හැකි උපකරණය ගෙන, එය ඔහුගේ කලිසමේ පිටුපස ඉණ පටියට තද කළේය. නරක දේ එහි සිදු වෙමින් පවතින නිසා, ඔවුන් සමාජ ශාලාවේ සිටියදී යම් දෙයක් වැරදී ගියහොත් එන්වී හට එය ලබා දීමට ඔහුට අවශ්‍ය විය.

ඔහුගේ කාමරයෙන් එළියට ආ ඔහු ශාලාව දෙස බැලූ අතර ඔහුගේ සහෝදරිය දුටු විට ඔහු ගල් ගැසී සිටියේය. කලවා මැදින් පහළට පලා තිබූ කළු පැහැති, සමින් නිමවූ සායක් ඇය ඇඳ සිටි අතර කළු ලේස් කමීසය පපුවෙන් පහලට විහිදී අවශ්‍ය ස්ථාන වැසීමට කළු සම් කැබලි අල්ලා තිබිණි ... ඒවා ඇගේ පියයුරු සැඟවීමට සමත්වූ අතර සිහින් උදරය සහ නාභිය ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

එලෙසම වළලුකර වටා දම්වැල් බැඳ තිබූ, දණහිසට මදක් උස්වූ කළු පැහැති සම් සපත්තු යුගලයක්ද ඇය පැළඳ සිටියාය. වසර ගණනාවකට පෙර ඔවුන්ගේ මව දුන් ඇමතේස්ත ගලකින් යුතු පෙන්ඩන්ටයක් සමගින් යුත් මාලයක් අයගේ ගෙල වටා විය. ඇගේ රතු කෙස් කළඹේ ඉතා ඉහලින් පෝනිටේල් එකක් බැඳ තිබූ අතර සමහර කෙස් ඇයගේ එක් උරහිසක් මතින් වැටී තිබුණි.

ඇගේ වේශ නිරූපණය රසවත් ලෙස පෙනුනේ කළු පැහැති ඇස් වටා ඇඳි රේඛාවකින් සහ තද පැහැති තොල් ආලේපන සමගිනි. ඇය ආධිපත්‍ය පතුරවා ගත් කෙනෙකු මෙන් දිස්වූවාය.

"අපොයි, අපි ලේ බොන්න වගෙයි, එහෙම නේද?" චැඩ් ඇහි බැම හකුළුවමින් ඇය දෙස බලමින් ඇසුවේය. ඇයගේ සුරක්ෂිතතාව උදෙසා රාත්‍රි ගමන අවලංගු කර නැවත ඇගේ කාමරයට යනමෙන් ඉල්ලා සිටීමට ඔහුට සිත්දුනි.

“හොඳයි, මම තීරණය කළා,” එන්වී තම සියුම් ඇහි බැම ඉහළට ඔසවා කීවාය, “මම ට්‍රෙවර් ගැන හෝදිසි කරාට පස්සේ, මම විනෝද වෙන්නයි යන්නේ! මේ දැන් ඉඳන් මම එක කොල්ලෙක් එක්ක සබඳතා පවත්වන්නේ නැහැ. මට පෙම්වතෙක් එපා ... මට එයාලා ගොඩක් ඕන! එතකොට එක්කෙනක් පිස්සු විදිහට ක්‍රියා කරන කොට ඒක ප්‍රශ්නයක් නැහැ, මොකද මිනිහගේ පස්සට පයින් ගහලා මාත් එක්ක එකතුවෙන්න ලෑස්ති ඕනේ තරම් අය ඉන්නවා මට.”

"ඔව්, ඒ දේ උසස් පාසලේදී කොච්චර හොඳින් සිදු වුනාද කියලා මට මතකයි." චැඩ් තම හිස සලමින් පැවසුවේ පෙන්වනවාට වඩා තම සොයුරිය නිර්දෝෂී බව දැනගෙනය. "සේවා ස්ථානයෙන් ඇමතුමක් ලැබුනොත් කියලා අපි මගේ වාහනය අරගමු" ඔහු වැඩිදුරටත් කීවේය.

"මට නිල් පාට ලයිට් එක්ක සෙල්ලම් කරන්න දෙනවා නම් විතරයි," එන්වී සිනාසුනේ ඔහු ඇයට ඉඩ දෙන බව දැනගෙනය.

චැඩ් සුසුම් හෙළා කාරය දෙසට යාමට පටන් ගත්තේය. "මම හිතන්නේ ඔයා, සෙල්ලම් බඩු කඩේක සද්ද කරන හැම සෙල්ලම් බඩුවක්ම අරගෙන සද්ද කරලා, වටේ ඉන්න හැමෝවම පිස්සු හදවන පොඩි ළමයෙක්ටත් වඩා අන්තයි කියලයි."

"මොකක්ද?" ඇය සිනාසුණාය. "මම නිල් පාට ලයිට් වලට කැමතියි. මම ඒවා ක්‍රියාත්මක කරාම මිනිස්සු අපි ඉන්න පාරෙන් අයින් වෙනවා.”

"අපේ කෝපි ඉවරවෙච්ච වෙලාවේ ඔයා කරා වගේද?" ඔහු ඇසුවේය. "ඒක බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කිරීමක් කියලා ඔයා දන්නවාද?"

"ඔයා කටවහන්නේ නැත්නම් මම වාහනය එළවගෙන යනවා. එතකොට ඔයාට තමයි රතු ලයිට් එළියයි සයිරන් නලාවයි එක්ක කටයුතු කරන්න වෙන්නේ,” ඇය සෙල්ලක්කාර ලෙස ඇසිපිය හෙළමින් අනතුරු ඇඟවූවාය.

චැඩ් වහාම නිහඬ වූයේ ඔහුට අවසන් වරට එවන් සිද්ධියක් වූ දිනය මතක්වූ බැවිනි. එවර ඇයට වැඩට යාමට ප්‍රමාදවී තිබූ අතර ඔහුට රිය පැදවීමට නොහැකි තරම් අසනීපව සිටිනිසා මගී අසුනේ හිඳගෙන නිදා ගත්තේය. ඔහුගේ ප්‍රධානියාගේ ඒ පිලිබඳ මතක් කිරීම තවමත් ඔහුට දුකක් ගෙන දුන්නේය.



*****



රාත්‍රී සමාජ ශාලාවට මද දුරක් තිබියදී එන්වී නිල් පැහැති ආලෝකය නිවාදැමූ අතර වලාකුළු වලින් වැසුණු අහස පුරා ඔබමොබ විහිදෙන දැඩි විදුලි ධාරා දෙස බැලුවාය. දෙමහල් ගොඩනැගිල්ල ඇයගේ දෘෂ්ඨිපථයට ක්‍රමයෙන් ලංවන ආකාරය ඇය බලා සිටියාය.

ඇය මෑතකදී කොතරම් වැඩ කරමින් සිටියාද යත් ඇයට සඳ රැඟුම පිලිබඳ පරීක්‍ෂා කිරීමට අවස්ථාවක් නොතිබුණත් ඇයගේ සමහර ගනුදෙනුකරුවන් ඒ ගැන දැඩි උද්‍යෝගිමත් විවේචන එල්ල කර තිබුණි. පිටතින් එහි විසිතුරු යමක් විද්‍යාමාන නොවීය. එය ඇත්තෙන්ම පෙනුනේ ඉදිරිපස බිත්තියේ ජනේල ස්වල්පයක් ඇතිව, ඉදිරිපස බිත්තියේ විශාල දම් පැහැති නියොන් පුවරුවක් සහිත ගඩොලින් තැනු ගබඩාවක් ලෙසටය.

විශාල රථ ගාලේ අඩක පමණ ප්‍රමාණයක පෝලිමේ සිටි මිනිසුන් තම හොඳම සමාජ ශාලා ඇඳුම් වලින් සැරසී එකිනෙකා සමඟ කතා කරමින් සිටියහ. රාත්‍රී දහය පසුවන විටත් පෝලිමක මිනිසුන් සිටීම නිසා මෙහි වැඩ කිරීම ඉතා ලාභදායී විය හැකි බව ඇයට තෙරුම් ගියාය.

"ඔව්, මම ඇත්ත වශයෙන්ම අයදුම්පතක් ඉදිරිපත් කරනවා," ඇයගේ බලාපොරොත්තුව ගැන ඇය සිනාසුණාය

තම සහෝදරියගේ පෙනුම දැක, ට්‍රෙවර් හොඳ ඇඩ්රිනලින් මාත්‍රාවක් ශරීරයේ නිපදවා ගැනීමට පෙර චැඩ් උපහාසාත්මක ලෙස පැවසුවේ “දැන් නම් පෝලිම අඩුවේගන යනවා” කියායි.

ඔහු තම වාහනය නැවැත්වූයේ රථ ගාලේ අඳුරුම කෙළවරක නවතා තිබූ ට්‍රෙවර්ගේ කාරය අසලින්මය. එන්වී කාරයේ දොර විවෘත කිරීමට පෙර, චැඩ් තම අත දිගු කර ඇයගේ අත අල්ලා ගත්තේය. "මෙන්න," ඔහු ඇගේ අතේ කුඩා ටේසර් එක තබා, ඒ ගැන වචනයක්වත් කතා නොකර ඔහුගේ දොර විවෘත කර එළියට බැස්සේය.

එන්වී සිනහවකින් යුතුව ඇයගේ ඇඟිලි වලින් එම උපාංගය තදකර අල්වා ගත්තාය. ඇගේ සහෝදරයා ඇයට ආත්මාරක්‍ෂාව ගැන පුහුණුව දී තිබූ අතර, ඔහු සමඟ වැඩ කළ බොහෝ පොලිස් නිලධාරීන්ව දහඩිය දැමීමකින් තොරව යටත් කරගැනීමට ඇය දක්ෂ වූවාය. නමුත් චැඩ් නිතරම කියා සිටියේ ‘ඔයාට බොත්තමක් ඔබන එක විතරක් කරන්න තියනකොට, මොනාටද පොර බදින්නේ?’ කියාය.

ඇය ඇයගේ සමින් නිමවූ සායේ කුඩා පැති සාක්කුවට තම හැඳුනුම්පත සමඟ ටේසර් එක දැමුවාය. ඇය ට්‍රෙවර් හට මෙහි බොත්තම ඔබන්න බලා සිටියාය. කිසිවෙකු එන්වී සෙක්ස්ටන් හට වංචා කර එයින් ගැලවුනේ නැත.

ඔවුන් දෙදෙනා පෝලිම දෙසට ගමන් කළ අතර පෝලිම ඉතා ඉක්මනින් ගමන් ගැනීමට පටන් ගත්විට එන්වී ඉතා සතුටට පත්වූවාය. ඔවුන්ට ඇතුළට යාමට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි.

දොරටුව අසල රැඳී සිටි පුද්ගලයා අර්මනි කලිසමක් සහ එයට ගැලපෙන ජැකට්ටුවකින් සැරසී සිටියේය. යටින් ඇඳ තිබූ ඔහුගේ කමිසය, ශරීරයේ හැඩයට ගැලපුන අතර ඔහුගේ ලස්සන පපුව පෙන්නුම් කළේය. ඔහුගේ දුඹුරු පැහැති කෙස් රැළි, ඔහුගේ මුහුණ දෙපසට වැටී තිබිණි. ඔහුගේ මුහුණේ කෙටි රැවුල් ගස් පෙනෙන්නට තිබූ අතර ඔහුගේ තියුණු ඇස් නියොන් ආලෝකයේ පැහැයට බැබළෙමින් තිබිණි.

චැඩ් මුදල් ගෙවූ අතර, මිනිසා ඔවුන්ගේ අතෙහි සලකුණ මුද්‍රා කිරීමට පෙර ඔවුන් තම හැඳුනුම්පත් පෙන්වූ අතර පසුව ඔහු රතු වෙල්වට් කඹය ඔසවා ඔවුන්ට ඇතුළුවීමට අවසර දුනි. ඔවුන් ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී කෙටි ආලින්දයක් දිගේ ඇවිද ගොස් තවත් දොරටුවක් වෙත ආසන්න වනවිට එය විවෘත විය. දෙදෙනාම ප්‍රධාන කාමරයට ඇතුළු වී නතර වූහ. එය ඇත්තෙන්ම වෙනත් මානයකට යාමක් වැනි විය.

රථ ගාල පිරී තිබුන අන්දමට ඔවුන් බලාපොරොත්තු වූයේ කිටි කිටියේ තදවුන මිනිසුන්ය. නමුත් එය එසේ නොවීය. කාමරයේ මධ්‍යයේ කපා තිබූ දැවැන්ත සිදුරක් වෙත එන්වී ඇවිදගෙන යනවිට ඇයගේ තොල් ඇරුණි.

ගරාදි වැට අසලට ගිය ඇය, පහත තිබූ නැටුම් බිම දෙස බැලුවාය. ඔවුන් සිටි ස්ථානයේ දෙපසටම, ප්‍රධාන බිම හරහා දිගු ඇවිදීමේ තීරුවකින් වූ අතර එහි මුළු දිග පුරා විහිදෙන ලෙස බාර් එකක් පිහිටුවා තිබුණි. බාර් එක ඝනකම් වීදුරුවලින් සාදා ඇතිබව පෙනුන අතර මෘදු නියොන් ආලෝකය ඒ හරහා වැටී තිබිණි.

පියගැට පෙල දෙකක් ඇගේ වම් පසින් සහ දකුණු පසින් පහළට විහිදී ගොස් මැදදී හමු වී නර්තන බිම දක්වා විහිදී තිබිණි. නර්තන ස්ථානය මෘදු ආලෝකයෙන් බැබළෙමින් තිබූ අතර එමගින් නටනවුන්ගේ පාද කළුපැහැති සෙවනැලි ලෙස පොලව මත දිස්විය. නර්තනය කරන්නවුන් මතට නොවැටී සෙසු සෑම තැනටම එලිය විහිදූ භ්‍රමේක්ෂ විදුලි පහන මෙන්ම විවිධ වර්ණ විහිදුම් විදුලි පහන් විසින් මහත්වූ කලබලකාරී තත්වයක් නිර්මාණය කර තිබුණි.

එය සකසා තිබූ ආකාරයට ඔබට දැකගත හැකි වූයේ නර්තන ශිල්පීන්ගේ දණහිසින් පහල කොටස වූ අතර ඔවුන්ගේ සිරුරු සෙවනැලි අතර තිබුණි.

එන්වී ගරාදි වැටට හේත්තුවී පහතට එබී පහළ මාලයේ තවත් බාර් තිබේ දැයි බැලූ නමුත් නැටුම් බිම හැර වෙන කිසිවක් නොතිබුණි. ඇත්තෙන්ම එමගින් ඇයට විශාල වළක් සිහිපත් විය. ඔබ එම පඩිපෙලෙන් බැස ගිය පසු, නර්තන ශිල්පීන්ගේ පෞද්ගලිකත්වය රකින්නාවූ අඳුරු සෙවනැල්ල මගින් ඔබව වසා ගනු ඇත.

"ඒක තට්ටු තුනක් ද?" ඔවුන්ට ඉහළින් තිබු සිවිලිම දෙස බලා ඇය විමසුවාය. පහළම මහලත් සමග ගණන් කිරීමේදී, එය තුන්වන මහල වූ අතර, එය සමාජ ශාලාවේ කොටසක්ද නැත්නම් එය සීමාවෙන් පිටදැයි ඇය කල්පනා කළාය.

ඔල්වරසන් සහ ප්‍රීතිඝෝෂා හඬ නැගීම නිසා එන්වී නැටුම් බිම වෙත ආපසු හැරී බැලුවාය. වළ හරිමැද තිබුනාවූ කූඩුවකට අයිස්-නිල් පැහැති ආලෝකය එල්ලවූ විට ඇය අවිශ්වාසයෙන් යුතුව එදෙස බලා සිටියාය. ඇය ක්‍ෂණිකවම කූඩුව තුල සිටි මිනිසා සමඟ සිත් බැඳ ගත්තාය.

චැඩ්ගේ බැල්මද කූඩුව මත නැවතුණි. එය කුඩා සිර මැදිරියක් මෙන් විය. ඒ තුළ පුරුෂයෙකු හා ස්ත්‍රියක් සිටි අතර ඔවුන් එකිනෙකා වටා රවුම් ගසමින් සිටියහ. මේතරම් දුරක සිට වුවද ඔවුන්ගේ චලනයන්හි උණුසුම ඔහුට දැනෙන්නට විය. කූඩුවේ සිටි පුද්ගලයා ඔහුගේ නර්තන සහකාරියව මැදිරියේ යකඩ පොලු දෙසට තල්ලු කළ විට චැඩ් ගරාදි වැට ඉතා තදින් මිරිකා ගත් අතර ඔහුගේ ඇඟිලි පුරුක් හි ඇට සුදුමැළි විය.

වටේ කැරකෙමින්, මිනිසා ඇගේ මැණික් කටුවෙන් අල්ලා ඇය ඉදිරිපිට ඇති පොලු වෙත ඇගේ දෑත් යොමු කිරීමට පෙර ඇයව ඔහුට ලං කරගත්තේය. ඇය සිරමැදිරියේ පොලු තදින් අල්ලාගෙන සිටිනවිට, බාගෙට නිරුවතින් සිටි ඇගේ සිරුරට ඔහුගේ සිරුර අතුල්ලමින් සිටි අතර ඇයගේ හිස ඔහුගේ පපුව මතට හේත්තු වූයේ ඇය එම ක්‍රියාව භුක්ති විඳින්නාක් මෙනි.

එය යම් ආකාරයක ප්‍රාථමික සංසර්ග නර්තනයක් මෙන්ම දැඩි සත්ත්ව ස්වභාවයෙන් යුක්ත විය. චැඩ් සහ එන්වී මෙම ප්‍රසංගය වෙත ආකර්ෂණය වූ අතර, එම දර්ශනය දෙදෙනාට විවිධ අයුරින් බලපෑහ.

චැඩ් තවත් මිනිත්තු කිහිපයක් නිශ්ශබ්දව ඔවුන් දෙස බලා සිටි අතර ප්‍රධාන නර්තන යුවළ වෙන්ව ගියේ මිනිසාට ඇයව වෙනත් ස්ථානයකට කොටු කර ගැනීමට ඉඩ සැලසීම සඳහා පමණි. ගැහැණියගේ පිටුපසට මිනිසාගේ බඳ තදවෙන විට ඔවුන්ගේ චලනයන්හි උණුසුම නිසා, තමා ඇඳසිටි ජීන්ස් කලිසම තද බව චැඩ් හට දැනුනි. බලාපොරොත්තු සුන්වීමෙන් ඔහුගේ බැල්ම වෙනතක යොමුකළ චැඩ් හට, තමන් සිටිනා කෝණයෙන් ඉහළ බිත්තිවල සැරසිලි මනාව දර්ශනය වනබව පෙනුනි.

ඒවා බොහෝ විට නිවී දැල්වෙන විදුලි ආලෝක පහන් වූ අතර ජගුවර් වරුන්ගේ සුනම්‍ය සිරුරු දර්ශනය වනසේ සකස්කළ සිතුවම් විශාල ප්‍රමාණයක් බිත්තිවල තිබුණි. සමහර සිතුවම් ඔවුන් සටන් කරන ආකාරය විදහා දක්වා තිබු අතර තවත් සමහරක් දඩයමේ යන්නාවූ සහ දඩයම් කරන්නාවූ සිතුවම්ද තිබුණි. මාරාන්තික සතුන්ට තමන්ගේම ජීවිතයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. නිශ්චල සිතුවම් බොහෝ විට විදුලි පහන් ආලෝකය සමඟ චලනය වන්නාසේ දිස්වූ අතර එමඟින් සතුන් ජීවතුන් අතර සිටිමින් බලා සිටින බවට හැඟීමක් ඇති කළේය.

තේමාව අද්විතීය බව ඔහුට පිළිගැනීමට සිදු වූ නමුත් ඉන් බලපොරොත්තුවු දේ ක්‍රියාත්මක විය. ඔහුගේ දෑස් බිත්ති හරහා විදුලි පහන් ආලෝකය පසුපස ගිය අතර පින්තූර අතර දම්වැල් එල්ලී තිබෙනු ඔහු දුටුවේය. ඉන් සමහරක් කරපටි සහ කළු පැහැති හමින් නිමවූ කස වලින් සරසා තිබිණි.

ඔහු කූඩුව දෙසට නැවත හැරී බැලූ අතර ජේසන්ව සොයා යාමට සැරසෙන විට එක් විදුලි ආලෝකයක් අසල නර්තන බිමේ ට්‍රෙවර් සිටිනු දුටුවේය. ඒ මෝඩයා ගැහැණු ළමයින් දෙදෙනෙකු අතර සිරවී සිටි අතර, ඔහු තම ජීවිතයේ ප්‍රියතම කාලය ගත කරන බවක් පෙනෙන්නට තිබුණි. එන්වී දෙස බැලූ චැඩ් දුටුවේ, ඇය තිදෙනා දෙස කෙලින්ම බලා සිටින බවත් ඒ සම්බන්ධව ඔහු වචනයක්වත් ප්‍රකාශ කලයුතු නැති බවයි.

එන්වී, ට්‍රෙවර්ව නොදන්නා සේ ඔහුව අධ්‍යනය කිරීමට උත්සාහ කරමින් හිස දෙපසට වැනුවාය. ඔහු සමග පෙම් සබඳතාවයක් ඇති කරගත්තේ ඇයි කියා ඇයට සිතෙන්නට විය.

ඔහු ඇස් වලට ඉතා පහසු බව පිළිගැනීමට ඇයට සිදු විය. හොඳම පෙනුමක් සහිත යන්න ඔහුව විස්තර කරන හොඳම වාක්‍ය ඛණ්ඩය වනු ඇත. ඔහු කැලිෆෝනියාවේ සැරිසරන කොල්ලෙකු මෙන් පෙනුනේ ඔහුගේ පියාඹන වැලි පැහැති දුඹුරු හිසකෙස්, රන්වන් පැහැයට හුරු දුඹුරු පැහැ සම, අළු පැහැති නිල් ඇස් මගිනි. ඔහුව මුළුමනින්ම ලෙවකෑමට හැකි තත්වයක සිටි අතර එලෙසම ඉතා විනෝදජනක කෙනෙකු විය.

නමුත් ඔහුගේ හොඳ පෙනුම ඉවත් කළහොත්, ගැහැණු ළමයෙකු ආකර්ෂණය කර ගැනීමට තරම් දෙයක් ඔහු තුල නොතිබුණි. පොහොසත් පවුලක ඉපදුනාවූ, මෝඩ, ශබ්ද සහිත විද්‍යාලීය කොල්ලෙක් පමණක් ඉතිරි විය. ඔහු අසල ගැවසෙමින් සිටියදී, ඔහු ඉතා අවධානයෙන් සිටින නමුත් සමහරවිට ඔහු වරින් වර දින ගණන් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී යයි.

ඔහු ගැන කීමට ඇයට සිතිය හැකි එකම හොඳ දෙය නම් ඔහු ඇඳේදී උද්‍යෝගිමත් කෙනෙකු වූ අතරම ඇයගේ ජීවිතයේ හොඳම අවස්ථා කිහිපයක් ඇයට ලබා දී තිබීමයි.

ඇත්තෙන්ම ඇය විශ්වාස කළේ ඔහු ඇයට කැමති බවයි ... ඇයට වඩාත් කැමති බවයි. මිනිසුන් ගැන ඇය දැනසිටි තරම මෙයින් පෙන්වන බව ඇයට හැඟුනි. ඇත්තම කිව්වොත්, ඇය දැන් තනිකම ගැන කරදර වෙමින් සිටියාය ... නමුත් ඇත්තෙන්ම, පිරිමි ළමයෙකු සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කිරීමට එය හේතුවක් නොවීය.

තමාට කිසිසේත් ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ නැති බව තේරුම් ගත් ඇය, පහත පෙනුණු දර්ශනයේ සිටි මිනිසා, ගැහැණියගේ පිටුපස මිරිකමින් සිටිනු දැක ඇය මහත් ආශාවෙන් සුසුම්ලෑවාය. ඔහුට සැබැවින්ම ඇය ආදරය කළා නම්, දැන් වේදනා විඳිනු වෙනුවට ඇය මුළුමනින් කෝපයට පත් නොවන්නේද? ඇයගේ සිතට වඩාත් වේදනා දුන්දෙය වූයේ ඔහුට ඇය පමණක් අවශ්‍ය යැයි කී ඔහුගේ බොරුවයි.

ජේසන්, දොරට සමීපයෙන් වූ ඔහුගේ බාර් ස්ටූලය මත වාඩිවී එන්වී සමාජ ශාලාවට එන තෙක් බලා සිටියේය. ඇය එන බව ඔහු දැන සිටි අතර ඇය සමඟ චැඩ් සිටිනු දැක ඔහු පුදුම නොවීය. ඔවුන්ට වටපිටාව නැරඹිමට මිනිත්තු කිහිපයක් ලබා දීමෙන් පසු, එන්වීගේ උරහිස් වලින් දිස්වූ ආතතිය දුටු ඔහු තෘප්තිමත් සිනහවක් පෑ අතර, තම පෙම්වතා නැටුම් බිමේ සිටිනු ඇය දුටු බව හෙතෙම දැන ගත්තේය.

පසුගිය මාස කිහිපය තුළදී ඔහුගේ ඊර්ෂ්‍යාව සැඟවීමට ඔහු උත්සාහ කළ අතර ඇයට රිදවීමට ඔහුට අවශ්‍ය නොවීය, නමුත් ඇයව ට්‍රෙවර්ගෙන් ඈත් කිරීමට මෙය කිරීමට අවශ්‍ය නම්, එසේ කරන්නේ ඇගේම යහපත සඳහා විය.

ඔහු කතා කරමින් සිටි, කැට් නැමති මනරම් බීම පිලිගන්වන්නිය වෙත ජේසන් ආපසු හැරී, සිනාසෙමින් "ඔයාට කිව්වනේ එයාලා එනවා කියලා", කියමින් ඔහු එන්වී සහ චැඩ්ගේ දිශාවට ඔහුගේ හිස සැලුවේය.

ඔහු පැයකට වඩා වැඩි කාලයක් මෙහි සිටි නමුත් ට්‍රෙවර් විසින් එන්වීව රවටන ආකාරය දැකීමෙන් පසු ඔහුට සමූහයා සමග එකතු වීමට තරම් මානසික ආකල්පයක් නොතිබුණි. ඔහු වෙහෙසට පත් වී සිටි අතර කාලය ගත කිරීම සඳහා කැට් සමඟ කතාබස් කිරීමට පටන් ගත්තේය. ඔහු ඇයට එන්වීගේ වංචාකාර පෙම්වතා ගැන පවා කීවේය.

"ඉතිං ඒ ඔයාගේ හොඳම යාළුවයි, එයාගේ සහෝදරියයිද?" කැට් එම යුවළ දෙස බැලූ නමුත් ඇගේ ප්‍රධාන උනන්දුව තිබුනේ පොලිස් නිලධාරියා වෙත ය. චැඩ් ද පොලිස් නිලධාරියෙකු බව ජේසන් ඇයට නොකීවේ නම්, ඇය එය කිසි විටෙකත් නොසිතනු ඇත. ඔහුද උණුසුම් පෙනුමැති පුද්ගලයෙකු විය.

හිරුඑළිය සිප ගත් සමක් සහිත අඩි හයක පමණ උසකින් සහ දුඹුරු පැහැති රන්වන් හිසකෙස් සමගින්. ඒවා සාමාන්‍ය පොලිස් කොණ්ඩා මෝස්තරයට වඩා තරමක් දිගු වූ අතර සුළඟ මගින් ඒවායින් බොහොමයක් පැත්තට ගසාගෙන ගොස් තිබූ අතර එයින් ඔහුට තරමක් නොහික්මුණු පෙනුමක් ලබා දුන්නේය. ඇය ඔහුව ක්වින් සමඟ සංසන්දනය කරන බව තේරුම්ගත් අතර, නැවතත් එය කළ බව තේරුම් ගෙන දෑස් පියා ගත්තාය. ඔවුන් දෙදෙනාම පරණ ගින්දරෙන් මිදිය යුතු බව හා නැතහොත් සදාකල් එයින් දැවි දැවී සිටීමේ අවදානමක් ඇති බව දැන දැන ඇය ජේසන් දෙස ආපසු හැරී බැලුවාය.

“එයා පොලිස් නිලධාරියෙකු වගේ පේන්නේ නැහැ,” කැට් පැවසුවේ චැඩ් දෙස බලමින් ඔහු කිසිවෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වනවාදැයි කල්පනා කරමිනි. ජේසන් එවැනි දෙයක් පිළිබඳව ඇයට පවසා නොතිබුණි.

"ඔව් හොඳයි," ඇය චැඩ් දෙස බලා සිටින ආකාරය දුටු ජේසන් මුහුණ ඇඹුල් කරගත්තේය. ඔහු හිස සොලවා, "මම විනාඩි කිහිපයකින් ආපසු එන්නම්" කියා කිවේය.

තම සෝඩා බෝතලය බී අවසන් කළ ඔහු පුටුව අතහැර තම මිතුරන් වෙත ඇවිද ගියේය. ඔහු ඔවුන් අතර ඇති දුර ගෙවා ඔවුන්ට ලංවූ විට, එන්වීගේ උරහිස මත අතක් තැබීය. ඔහුගේ තොල් ඇයගේ කන වෙත පහත් කර ඔහු "ඔයාට නටන්න ඕනෙද?" කියා ඇසීය.

එන්වී හැරී නොබලා සිනාසෙමින් "ඔහ්, අපෝ ඔව්!" කියා පුදුමයෙන් හඬනගා කීවාය. පසුව තමා සමීපයෙහිම පිහිටි පඩිපෙලෙන් බැසගිය අතර ජේසන් තවමත් චැඩ් අසල සිටගෙන තම අත තවමත් මනඃකල්පිත උරහිසක් මත තබාගෙන සිටියේය. චැඩ් සිනාසෙන හඬ ඇසුණු විට ඔහු දෑස් පියාගත්තේය.

"අපරාදේ" ජේසන් ඇයගේ පහලට බැසීම දෙස බලා සුසුමක් හෙලීය.

චැඩ්, ජේසන් කෙරෙහිවූ අනුකම්පාවෙන් ඔහුගේ උරහිසට තට්ටු කරමින් ඔහුව ආපසු බාර්එක වෙත ගෙන ගොස් එහි කවුන්ටරයට එයට හේත්තු වී, “ඒ ගැන ඔයා කරදර වෙන්න එපා. මම හිතන්නේ මේ වෙලාවේ එන්වී ට තියන්නේ එක පාරක යන මනසක් විතරයි, ඒ පලිගැනීමයි.”

බාර් එකේ පිටුපස සිටි තරුණිය දෙස බැලූ ඔහුට, මොහොතකට ජේසන් සිටින බව අමතක විය. ඇගේ ලෝකඩ දුඹුරු පැහැය සහ ඇගේ උරහිස් අතරින් ඇගේ උකුල දක්වාම විහිදුන ඉතා තද අඳුරු හිසකෙස් සමග ඇයගේ පෙනීම විශ්මය ජනක විය. ඇයගේ දෑස් ඊට ප්‍රතිවිරුද්ධ විය. ඒවා ලා නිල් පැහැති වූ අතර ඇස් වටකර කළු පැහැයෙන් ඇඳ තිබුණි.

"කරුණාකර සෝඩා එකක් දෙන්න" යනුවෙන් ඔහු පැවසූ විට ඔහුගේ බැල්ම යොමු වූයේ ඇයගේ පිරී තිබුනාවූ තොල් දෙසටය.

"අද රෑ බොන්නේ නැද්ද?" චැඩ්ගේ දෑස් කැට් වෙත යොමු වී ඇතිබව තේරුම්ගත් ජේසන් තම මිතුරා දෙස නොබලන්නට උත්සාහ කරමින් ඇසුවේය. සියලුම ගැහැණු ළමයින් පොලිස් නිලධාරීන්ට කැමති ඇයි?

“නැහැ, මට හිතෙනවා මේ වෙලාවේ මම සන්සුන්ව ඉන්න ඕනේ කියලා. මම ට්‍රෙවර්ට ඇත්තටම කැමති නැති නිසා මම එන්වීට සෙල්ලම් කරන්න මගේ ටේසර් එක දුන්නා.” ජේසන් දෙස බලා සිනහවක් දැක්වීමට ඔහු අමාරුවෙන් තම දෑස් තරුණියගෙන් ඉවත් කරගත්තේය. "අනික මම ආවේ පොලිස් වාහනයෙන්." ජේසන් සියල්ල තේරුම් ගනීවි යැයි ඔහු දැන සිටියේය.

චැඩ් ඇයට විස්සේ නෝට්ටුවක් දුන්විට කැට් හිස සැලූ අතර ජේසන් සමඟ එක්වීමට පිටත්ව යාමට පෙර එහි ඉතුරු මුදල් තබා ගන්නා ලෙස ඇයට කීවේය. ගැහැණු ළමයින්ගේ හෝමෝන වලට එම පිරිමි ළමයින් දෙදෙනා අනතුරුදායක විය හැකිය. ජේසන්ගේ දිග වැලි දුඹුරු පැහැති හිසකෙස් සමග බේ වොච් හි සිටින නිරූපකයෙකුගේ මුහුණ සහ ශරීරය තිබුණි.

ඔහුගේ අවධානය ලබා ගැනීමට බොහෝ ගැහැණු ළමයින් උත්සාහ කරනු ඇය දැක තිබුණි. ජේසන් ඔවුන් කිසිවෙකුත් ගණන් ගත් බවක් නොඇඟවූ අතර ඔහුගේම සිතුවිලි අතර අතරමං වූ බවක් පෙනෙන්නට තිබුණි... එලෙස සිදුවූයේ ඔහු තම හොඳම මිතුරා වන චැඩ් සහ ඔවුන් දෙදෙනාම ඉතා ආරක්‍ෂිතව කතා කළ ගැහැණු ළමයා ගැන ඇයට පැවසීමට පටන් ගන්නා තුරුය.

ඇයට එවන් දෙයක් මඟ හැරී තිබිණි, ඇගේ සොහොයුරන් හැර වෙනත් කෙනෙකු ඇය ගැන එතරම් ආරක්‍ෂිතව සොයා බැලීම. ඇය සෙමෙන් ඇසිපිය හෙලමින් ක්වින්ගේ ප්‍රතිරූපය තම මනසින් ඉවත් කල අතර පවතින ගැටලුව කෙරෙහි අවධානය යොමු කළාය.

ක්වින්ගෙන් ඇගේ මනස ඉවත් කර ගැනීමට උපකාරී වූයේ ටේසරය සම්බන්ධ ප්‍රකාශයයි. ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම නව විනෝදාස්වාදය ගැන කැට් සිය සහෝදරයන්ට අනතුරු ඇඟවීමට තීරණය කළාය. සමාජශාලාව වටා සිදු වූ මිනීමැරුම් මාලාව සමඟ කටයුතු කිරීමේදී මෑතකදී ඔවුන්ට සෑහෙන කරදර වලට මුහුණපෑමට සිදුවිය. ඔවුන්ට වඩාත් නරක අවධානයක් යොමු වීම ඔවුන් අපේක්ෂා කළ අවසන් දෙය විය.

චැඩ් ගරාදි වැටට මදක් නැඹුරු වී එන්වීව සොයමින් සිටියේය. දෙවියන්ට ස්තූතිවන්ත වන්නට සිර කූඩුවේ නර්තන ශිල්පීන් තවමත් එහි සිටි අතර ඔවුන්ට එල්ලකළ ආලෝක ධාරා මගින් ඇයව සොයා ගැනීම පහසු කරවීය. ජේසන්ගෙන් සිහින් කෙඳිරිගෑමක් ඇසී ඔහු ජේසන් බලා සිටි දිශාවට නෙත් යොමුකළ විට ඔහු දුටුවේ කූඩුවේ මෘදු ආලෝකය අසල පිරිමි ළමයින් කිහිප දෙනෙකු මැද ඇය නටන බවයි. ඔහු නළල රැළි ගසා, ඔහුගේ බැල්ම පටු කරමින්, ඇය කුමක් කරන්නට සැරසෙන්නේ දැයි කල්පනා කළේය.

“අඩුම ගානේ එයා ට්‍රෙවර් දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි, ඇමතුමට ස්තූතියි,” ඔහු බැරෑරුම් හඬකින් පැවසීය. "මේ වගේ දෙයක් වෙනකම් තමයි මම බලාගෙන හිටියේ."

ජේසන් උරහිස් ගස්සා, “ඒක මං වෙනුවෙන් නෙමෙයි. එයා වෙනුවෙන්. මිනිහට වඩා හොඳ කෙනෙක්ට තමයි එයාව සුදුසු.” ඇය දැන් තනිකඩව සිටින බව දැනගෙන ඔහු සිනාසීමට උත්සාහ කළේය. නමුත් අනෙක් සියලුම පිරිමි ළමයින්ගේ අවධානය ඇය වෙත යොමු වීම නිසා ඔහුගේ කුඩා සිනහවෙහි දුක පිළිබඳ ඉඟියක් තිබිණි.




2 වන පරිච්ඡේදය


පඩිපෙළින් බැස යන විට ශාලාවේ වූ උණුසුම, තමන් වෙත දෙවෙනි සමක් මෙන් වැටෙන බව එන්වීට දැනුනි. ඇගේ දැඩිවූ මාංශ පේශි ලිහිල් කිරීමට උත්සාහ කරමින් ඇය නැටුම් බිම වෙත පියමැන්නාය. ඇය ට්‍රෙවර් සිටි දිශාවට පියවර කිහිපයක් තැබූ අතර, ඇඟිලි තුඩු මගින් තම නිරාවරණයවූ සම මෘදු ලෙස ස්පර්ශ කරනවාත්, නුහුරු නුපුරුදු සිරුරු ඇයගේ ඇඟෙහි ඇතිල්ලී යන බවත් ඇයට තේරුණි.

ඇය මෙතෙක් ගොස් තිබූ හෝ වැඩ කළ අනෙකුත් සමාජ ශාලා වල නර්තන බිම්වලට වඩා මෙම නර්තන තලය අඳුරු වූ අතර ඇගේ පෞද්ගලිකත්වය රැකගැනීමට එය කදිම බව ඇය තේරුම්ගත්තාය. එහි නැටුම් එක් එක් ජෝඩු විසින් කල නැටුම් නොවූ අතර එය උණුසුම් ශරීර මිශ්‍ර වූ කණ්ඩායමක් විය. පරිසරයේ වෙනස් වීම දැනුන ඇය, සෙමෙන් තම දෑත් ඔසවා, නාඳුනන අය අතරේ තම ඇඟිලි තුඩු වැදෙන්නට ඉඩ හැරියාය. එයත් සමග ඇයගේ ඇඩ්රිනලින් හෝමෝනය ගලා ඒම නිසා මහත් ජවයෙන් යුතුව ඇයගේ ශරීරය උණුසුම් සරාගී සංගීතය සමග මුසුවීමට ඉඩහැරියාය.

ට්‍රෙවර්ට මුහුණ දීමට බලා පොරොත්තු නොවූ ඇය, මොහොතකට තම දෑස් පියාගෙන රාගයේ ශබ්දය ලෙස පමණක් හැඳින්විය හැකි සංගීතය සමඟ සෙමින් නැටුවාය.

තම ශරීරයට ස්පර්ශයන් ක්‍රම ක්‍රමයෙන් නිර්භීත ලෙස දැනෙන බව ඇයට වැටහුන විට, එන්වී තම ඇස් ඇර බැලූ අතර, පිරිමි පපු ප්‍රදේශ කිහිපයක් ඇයගේ නෙත ගැටුණි. සමහරු බොත්තම් රහිත කමිස මගින් තම පපු පෙදෙස නිරාවරණය වනලෙස සිටි අතර තවත් සමහරු සිරුරට තදවන ඇඳුම් ඇඳ සිටි අතර ඔවුන්ගේ එම ඇඳුම්ද ආකර්ෂණීය විය. ඔවුන්ගේ ඇස් දෙස බැලීමට බියෙන් ඇය ඔවුන්ගේ මුහුණ දෙස බැලීමට එඩිතර නොවූවාය.

මදක් කල්පනා කල ඇය පසුපසට යාමට පටන් ගත් අතර ඔවුන්ද ආකර්ෂණීය නර්තනයේ යෙදෙමින් ඇය පසුපස යන විට ඇය එය නොසැලකුවාය. මැද තිබුනාවූ කූඩුවේ සීතල යකඩ ඇයගේ පිටුපසට දැනුන ඇය සෙමෙන් හිස හරවා කුඩා වේදිකාව දෙස බැලුවාය. එහි සිටි පිරිමියා ඔහු සමඟ සිටි තරුණියව දණගැසීමට සලස්වමින් සිටි අතර ඔහු ඇයගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය.

ඔවුන් දෙදෙනාගේ බැල්ම එකිනෙකා සමග අගුළුලා සිටින විට මුළු කාමරයම මැකී යන බවක් පෙනෙන්නට තිබුණි. ඔහු ඇය දෙස බලා සිටි ආකාරයෙන් එන්වීට හැඟුනේ ඇය ඔහුට යටත් වී ඇති බවකි. ඔහුගේ කළු ඉංගිරියාව වටා ඉතා ඝන කළු වලල්ලක් සහිත අයිස් වන් නිල් පැහැති ඇස් ඔහුට තිබුණි. ඇයට සිතුනේ එතරම් විශ්මය ජනක හෝ දැඩි ඇස් මෙතෙක් දැක නැති බවයි. ඇයට පැය ගණන් ඒවා දෙස බලා සිටිය හැකි අතර එහි කෙළවරක් නොමැති බව හැඟී ගියෙන් එම සිතුවිල්ල ඇයව බිය ගැන්වීය.

ඔහුගේ බැල්මෙන් එන්වීට හැඟීගියේ ඇය නිරුවතින් සිටින ආකාරය ඔහු දකින බවයි. ඔහුගේ දෑස් ඇගේ ශරීරය පුරා සැරිසරන ආකාරය සහ සමහර ස්ථාන වල රැඳී සිටි ආකාරය මගින් ... ඔහුගේ දෑත් එම ස්ථාන ස්පර්ශ කරන බවක් ඇයට දැනෙන්නට විය. කූඩුවේ පොලුවල එල්ලී ඇයව දැඩි ලෙස හා වේගයෙන් ගෙන යන ලෙස ඔහුට කන්නලව් කිරීමට ඇති පෙලඹීම වැළැක්වීමට නොහැකි තරම් විය.

ආකර්ෂණීය දසුනෙන් තම දෑස් ඉවත් කරගත් එන්වී, තමා කැමති ඕනෑම අවස්ථාවක නර්තන භූමියෙන් ඉවත්ව ගියහැකි බව තමාට මතක් කර ගැනීමට උත්සාහ කළාය.

නර්තනයේ ගලායාම සමඟ ගොස් හැකිතාක් දුරට මිශ්‍ර වීමට ට්‍රෙවර් උත්සාහ කළද ඔහු විනෝදයක් නොලැබීය. නමුත් ඔහු මෙහි සිටීමට සැබෑ හේතුව වූයේ උණුසුම් ගැහැණු ළමයින් සහ නැටුම් නොවේ. කූඩුවේ සිටි පුද්ගලයා වෙත ඔහු සිය බැල්ම තබා තිබුනේ එම පුද්ගලයා ඔහුගේ සැබෑ සලකුණ වූ බැවිනි.

එම පුද්ගලයාගේ නම ඩෙවෝන් සැන්ටෝස් වූ අතර කෙලී ෆොස්ටර් සමඟ අවසන් වරට දුටු පුද්ගලයා ඔහු විය; පසුගිය සතියේ අසල පටු මාවතක තිබී හමු වූ 20 හැවිරිදි තරුණිය. ඇය ජීවතුන් අතර සිටි අවසන් රාත්‍රියේ ඩෙවෝන් සමඟ එම ප්‍රදර්ශන කූඩුවේ සිටියේ ඇය වූවාය.

මේ වන විට ඔහු දැනගෙන තිබුනේ මිනීමැරුමට ගොදුරු වූ තැනැත්තිය මාවත අද්දර පිහිටි නයිට් ලයිට් නමැති සමාජ ශාලාවක සේවය කිරීමෙන් ඉවත් වී ඇති බවයි. ඇය සඳ රැඟුමෙහි සේවය කළේ එක් රැයක් සඳහා පමණි ... ඇය මිය ගිය රාත්‍රියේදී. ඔහු විමර්ශනය කරමින් සිටි එකම මරණය ඇයගේ පමණක් නොවූ අතර එය හෝඩුවාවක් විය. ඇයගේ සිරුර කවුරුන් විසින් හෝ අතහැර දමා තිබුනත් එය ත්‍යාගයක් මෙන් කූගර් සහ ජගුවර්වරු අසල තැබීමට වග බලාගෙන තිබුණි.

ඩෙවෝන්, ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන නික් සහ වොරන් සහ ඔවුන්ගේ එකම සහෝදරිය වන කැට් සමඟ මෙම සමාජ ශාලාවේ හවුල් හිමිකරුවෙකු විය. සමාජ ශාලා දෙක අතර නිහඬ ආරවුලක් පවතින බවත්, ඔවුන්ගේ පියවරුන් දෙදෙනාම වසර දහයකට පෙර අතුරුදහන් වූ දින පටන් පවුල් දෙක සැබවින්ම විරුද්ධවාදීන් බවත් කටකතා පැතිර තිබිණි.

සමාජ ශාලා අතර වෛරයක් ඇතිවීමට සැබෑ හේතුව දැන ට්‍රෙවර්ගේ දෑස් පටු විය. මේවා සාමාන්‍ය සමාජශාලා නොවීය; ඒවායේ අයිතිය මෙන්ම ඒවා පාලනය කළේ මාරුවෙන්නන් විසිනි. කෙලී වැඩ කරමින් සිටි සමාජශාලාව පවත්වාගෙන ගියේ කූගර්වරුන් විසිනි. ඇය එතනින් පිට වී ජගුවර්වරුන් වෙත වැඩට පැමිණියත් ඊළඟ දවසේ මිය ගොස් තිබිණි. එය නොසලකා හැරිය නොහැකි අන්දමේ කාරණයක් විය.

තම ස්වරුපය මාරු කරන්නන් ඔවුන් අතර ජීවත් වන බව මිනිසුන් දැන ගත්තේ නම්, ඔවුන් අතර භීතියක් ඇති වනු ඇත ... නමුත් රහස එළියට නොපැමිණෙන ලෙස ඔවුන් බොහෝ කාලයක් සමාජයේ කොටසක් වී සිටියහ. ඔවුන් මානව සංහතියේ නීති රීතීන්ට අනුකූලව කටයුතු කරන තාක් කල්, ඔවුන් ඉවත් කිරීමෙන් මහා අවුල් ජාලාවක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණි. එය කවදා හෝ සිදු වුවහොත් මිනිස් මනෝභාවය අඳුරු යුගයට ආපසු යනු ඇත.

සී.අයි.ඒ. සංවිධානයේ අද්භූත ජීවින් පිලිබඳ සොයාබලන ආයතනය තුළ ඇති න්‍යාය පත්‍රයට අනුව නම් මොවුන් සමගද කටයුතු කලයුත්තේ හඳුනා නොගත් පියාසර වස්තු සහ පිටසක්වල ජීවීන්ගේ හමු වීම් සමඟ ඔවුන් කටයුතු කළ ආකාරයටමය; එනම්, එයට මුහුණ දීම, ජනතාවගෙන් වසන් කිරීම, වෙනත් කරුණකින් එය ආවරණය කිරීම මගිනි. මාරුවෙන්නන්ට වඩා නරකවූද, නමුත් මනුෂ්‍යත්වයට හොඳින් ගැලපෙන්නාවූ වෙනත් දේ බොහෝමයක් තිබුනි ... වෙනත්, භයානක ජීවීන් මිනිසා නරක ත්‍රාසජනක චිත්‍රපට මගින් නිර්මාණය කල මෙන්ම මිනිසුන්ට තවමත් අවබෝධයක් නොතිබූ ජීවින්.

නමුත් මිනිසුන් අතුරුදහන් වී හෝ මිය යාමට පටන් ගත් විට, ඔහු අයත්වූ කණ්ඩායම යොදවා කුමක් සිදුවන්නේ දැයි සොයා බැලීමට ඔවුහු උත්සාහ කළහ.

ඩෙවෝන් තම කූඩුව තුළ සිටි ගැහැණිය අතහැර දමා පොලු අසලට ගොස් යමෙකු දෙස බලා සිටිනු දුටු ට්‍රෙවර් ඔහුගේ බැල්ම යොමුවී ඇත්තේ කාවෙත දැයි බැලීය. ශක්තිමත් පිරිමින් සමූහයකින් වටවී, කූඩුවට පිටදී වාරු වී සිටින එන්වීව දුටු විට ඔහුගේ රුධිර පීඩනය ක්‍ෂණිකව අංශක කිහිපයකින් ඉහළ යන බව ඔහුට දැනුණි.

මොන මගුලක්ද එයා මෙහි කරන්නේ? ඔහු දෙවරක් නොසිතා තම නර්තන හවුල්කරුවන් අතහැර සමූහයා මැදින් ඇය දෙසට ගියේය.

ඔහුගේ අවධානයට ලක් වූ ගැහැණිය, තමා පිටුපස තිබූ මැදිරියෙහි පොලු අල්ලා ගැනීම සඳහා දෑත් ඔසවන විට ඩෙවෝන් ඔහුගේ උගුරෙන් මද හඬක් නැගුවේය. මුළු සමාජ ශාලාවේම සිටින සියල්ලන්ගේම උණුසුමට වඩා ඇයගේ උණුසුම ඔහුට දැනුන අතර එය ඔහුට ආමන්ත්‍රණය කරනවා යැයි හැඟුනි. ඔහුගේ ඇඟිලි ඇයගේ ඇඟිලි මත තබා, ඉන්පසු තම දෑත් කූඩුවේ පොලු අතරින් එලියට දමා ඇයගේ දෑත් දිගේ තම දෑත් පහලට ලිස්සා යැව්වේය.

සරාගී නර්තන ශිල්පියා දෙස එන්වී ආපසු හැරී බැලීමට සූදානම් වන විට, යමෙක් ඇගේ එක් අතක් අල්ලා බලෙන් එය කූඩුවෙන් ගලවා දැමීය. ඒ කවුදැයි දුටු විට ඇගේ මුව ඇරුණි. ට්‍රෙවර් ගැන ඇයට සම්පූර්ණයෙන්ම අමතක වී තිබිණි! තම ආකර්ෂණීය මනෝභාවය බිඳී ගිය අතර ඇය සඳ රැඟුමට පැමිණියේ ඇයිද කියා ඇයට මතක් වූ විට ඇය කෝපයට පත්වූවාය ... පලිගැනීමට.

"ඔයා මොනාද මෙතන කරන්නේ?" ට්‍රෙවර් තරමක් තදින් ඇයට පැවසූවේ ඇයව කූඩුව වෙතින් සහ ඩෙවෝන්ගේ භයානක ග්‍රහණයෙන් ඉවතට ගෙන යාමට උත්සාහ කරමිනි. ජගුවර්වරයා මිනීමරුවා නම්, ඔහු එන්වී දෙස බලා සිටි ආකාරයෙන් ඔහුගේ ඊළඟ ඉලක්කය ඇය වියහැකි බව ඔහුට සිතුනි.

ට්‍රෙවර් ඇයව හැසිරෙවූ ආකාරය ගැන ඇය අකමැති වූ නිසා එන්වී ඇයගේ අනෙක් අත අතනොහැර කූඩුවේ බාර්එක තදින් අල්ලාගෙන සිටියාය. ඔහු හැසිරුනේ ඇය ඔහු වෙනුවෙන් වරදක් කළාක් මෙනි. ඇගේ මිහිරි සිනහව ඔහු හට දක්වමින්, "මම නටන්න ආවා ... ඔයා කළා වගේ" යයි කීවාය.

ඔහු, සෙසු ගැහැණු ළමයින් සමඟ නටමින් සිටි ආකාරය ඇය දුටු බව දැන ට්‍රෙවර්ගේ තොල් සිහින් වී ගිය නමුත් ඇයට නොතේරෙන දෙය වූයේ ඔහු එම ක්‍රියා ආවරණයක් ලෙස භාවිතා කරන බවයි. ඔවුන්ගේ නම් අසා දැනගන්නට තරම්වත් ඔහු එම ගැහැණු ළමයින් ගැන සැලකිලිමත් නොවීය. ඔහු සහ එන්වී එකිනෙකාගේ දෑස් දෙස කෝපාවිෂ්ටව බලා සිටි අතර අවසානයේදී ඔහු සුසුමක් හෙළීය.

ඔහු ඇයගේ කන වෙත නැඹුරුවී "මට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්" යැයි කීවේය. ඔහු සැබැවින්ම කවරෙක් දැයි ඇයට කීමට ඔහුට අවශ්‍ය නොවූයේ ඇයගේ මෝඩ සහෝදර චැඩ් මෙන්ම ඇයද, තමා ඇයව පාවිච්චි කරන්නේ, ඇය වැඩ කරන බාර් වලට හොඳ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පමණක් බවට සිතීයයි බිය වූ බැවිනි.

"මෙහෙ එන්න," ඔහු ඩෙවෝන්ගේ දැඩි බැල්මෙන් ඇයව ඉවතට ගැනීමට නැවත උත්සාහ කළේය. ඔහු තත්පරයක් ගනිමින් ඩෙවෝන් දෙස බැලූ අතර බැල්මෙන් යමෙකුව මැරිය හැකි නම් ඔහු මේ වන විටත් බිම ලේ විලක් මෙන් දිස්වනු නොඅනුමානය. ඔහුද ප්‍රතිඋත්තර පෙනුමක් ලබා දුන් අතර ට්‍රෙවර් පසුව තම අවධානය ඔහුගේ පෙම්වතිය වෙත යොමු කළේය.

එන්වී ඔහු දෙසට හිස සැලුවාය. ඔහු මෙලෙස පැහැදිලි කරාවි යැයි ඇය සිතුවාය. “මම ආවේ නටන්න. මට මේ ලස්සන අය එක්ක නටන්න පුළුවන්, ඔයාත් කැමතිනම් එන්න අපිත් එක්ක නටන්න.” කුමන ආකාරයකට හෝ ඒවා කිසි අයුරකින් තමන්ට අදාළ නැතිබව පෙන්වීමට මෙන් ඇය තම සියුම් ඇහි බැම ඉහළට ඔසවා ගත්තාය.

ට්‍රෙවර් සෙමෙන් හිස හරවා ඔහුගේ උරහිස උඩින් නෙත් යොමා, තවමත් ඇය සමග නැටීමට අවස්ථාවක් ලැබෙනවාදැයි බලා සිටින රාගශීලී පුද්ගලයින් දෙස බලා සිටියේය. "මෙතනින් යන්න," ඔහු ඔවුන්ට මාරාන්තික ස්වරයෙන් පැවසුවේ, එන්වීට තවත් සමීප වෙමිනි. ඇයට නටන්න අවශ්‍ය නම්, දෙවියන්ගේ නාමයෙන් ඇය ඔහු සමඟ නර්තනයේ යෙදිය යුතුවිය.

එන්වී මුහුණ ඇඹුල් කර ඔහු දෙස බැලූ නමුත් රහසින් කල්පනා කළේ ඔහු තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු සමඟ, ඉතා කුළුපග ආකාරයෙන් මොහොතකට පෙර නටමින් සිටියද ඔහු මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයිද කියාය. "ඔයා විනෝදජනක නැහැනේ." අවසානයේදී ඇය අල්ලාගෙන සිටි බාර්එක මුදා හැර, තම ශරීරය ස්පර්ශ කරමින් අත පහලට ගෙන නොසැලකිලිමත් ලෙස ඇගේ සාක්කුවෙන් කුඩා ටේසර් එක ඉවතට ගෙන පසුව තම දෑත් මගින් ඔහුගේ ඉළ ඇට පෙදෙස ස්පර්ශ කලාය.

ඩෙවෝන් ඔහුගේ මුළු උසින් සිටගෙන, ඔහුගේ අවධානයට වඩා වැඩිදෙයක් දිනාගත් ශරීරයෙන් කුඩා මේ රතුකෙස් ඇත්තිය දෙස බලා සිටියේය. ඇයට හිමිකම් කීමට උත්සාහ කළ පුද්ගලයාගේ සුවඳට ඔහු කැමති වූයේ නැත. ඔහු තුලින් පැරණි වෙඩි බෙහෙත් සුවඳක් දැනුන අතර එයින් අදහස් වූයේ ඔහු සතුව ආයුධයක් කොහේ හෝ සඟවා තිබූ බවයි. නර්තන ශිල්පිනියට විවේකයක් ලබා ගන්නා ලෙස පවසා ඔහු කූඩුවේ දොර හැරියේය.

ඔහු තම ඇඟිල්ල මගින්, කණ ස්පර්ශ කරමින් නොපෙනෙන සන්නිවේදන උපකරණය මගින් පැමිණියාවූ හඬට හොඳින් සවන් දුන්නේය. ඔහුගේ කූඩුව අසල සිටින්නාවූ තරුණිය සතුව ටේසර් යන්ත්‍රයක් ඇති බවත් එය පිරිමි ළමයෙකුට එරෙහිව භාවිතා කිරීමට සැලසුමක් තිබියහැකි බවත් ඔහුගේ සහෝදරයා ඔහුට පැවසීය. ඔහු නැටුම් බිම හරහා කළු එළිය දෙස බැලූ අතර අවශ්‍ය වුවහොත් මැදිහත් වීමට නික් සූදානම්ව සිටිනු දුටුවේය.

සන්නිවේදන උපකරණය මගින් පැමිණියේ වොරන්ගේ කටහඬ නිසා ඩෙවෝන්ට වැටහුනේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඔහුට ඉහළින් සවිකර තිබූ රාත්‍රී දර්ශන කැමරාවකින් බලා සිටින බවයි.

මේ මොහොතේ තමන් ඉදිරිපිට සිටින මිනිසාගේ ශරීරයේ ඔබමොබ සැරිසරන ඇයගේ කුඩා දෑත් දෙස ආපසු බලන විට, ඩෙවෝන්ට හදිසියේම වැටහී ගියේ එම මිනිහාගේ හිස ගලවා දැමීමට තමන්ට දැඩි අවශ්‍යතාවයක් දැනුණු බවයි. ඇයගේ අත ඔහුගේ උකුල දෙසට ගමන් කරන විට දිලිසුනු රිදී පැහැති දෙයක් ඔහු දුටුවේය. ඔහුගේ දෙතොලින් අවතාරයක බඳු සිනහවක් මතුවූ අතර දැනට මෙයට මැදිහත් නොවීමට ඔහු තීරණය කළේය.

"මට මේක හසුරවන්න ඉඩ දෙන්න" ඩෙවෝන් මුමුණමින් සන්නිවේදනය කළේය.

එය සිදුවීමට ආසන්න බව දැනගත් චැඩ් සහ ජේසන් එකිනෙකාට සිනාසෙමින් නැටුම් බිම වෙත යන පඩිපෙළ දෙසට පියනැගූහ.

ට්‍රෙවර්ට හදිසියේම තේරුම් ගියේ, ඇය මෙතැනට එන බවක් එන්වී ඔහුට පවසා නොමැති බවයි. එසේ නම් ඔහුට මෙතරම් වරදකාරී හැඟීමක් ඇති වූයේ ඇයි? “ඔයා මොකක්ද මෙහෙ කරන්නේ කියලා මම ඇහුවා නේද, ඔයාගෙන්?,” ඇයට ස්පර්ශ වෙමින් ඔහු නැවත විමසූ අතර මෙවර ඔහුගේ කටහඬේ දැඩිබවක් තිබුණි. ඔහු මෙම සමාජ ශාලාව තුළට පය තැබීමෙන් පසු ප්‍රථම වතාවට ඔහුගේ ඉන්ද්‍රීය ප්‍රාණවත් වනු ඔහුට දැනුන අතර ඔහුගේ ඉකිලි ප්‍රදේශයට වැඩි රුධිර ධාරාවක් ගලාගිය හෙයින් ඔහුගේ සිතුවිලි මාලාවට බාධා සිදුවුණි.

එන්වී ඇයගේ ශරීරය ඔහුගේ ශරීරය දෙසට තදින් තල්ලු කලේ එමගින් ඇයට ඉතා වේගයෙන් ආපසු යාමට අවස්ථාවක් ලැබෙන බැවිනි. "මම ආවේ ඔයාට දෙයක් දෙන්නයි" යනුවෙන් ඇය පිළිතුරු දුන් අතර ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා නැටුම් බිමේදී තමාට දැනුණු දැඩි ආශාව ඇගේ දෑස් වෙත යොමු කළාය.

"මම බලාපොරොත්තු වෙනවා මම හිතන දෙයම, ඔයා කියයි කියලා," ට්‍රෙවර් කෙඳිරිගාමින් කීවේ, ඇගේ අත ඔහුගේ ඉකිලි ප්‍රදේශය පිරිමදිනු ඔහුට දැනුනු බැවිනි.

“අපි හොයලා බලමු,” කියමින් එන්වී, ඔහුගේ ඉකිලි ප්‍රදේශය වෙත තම අතවූ ටේසරය තද කළාය. ඔහු ගැහෙමින් ශබ්ද නොනගා දණින් වැටුනි. "අපොයි!" කී එන්වී, අනෙක් පස බලා පලා යාමට පෙර ටේසරය යලිත් තම සාක්කුවේ දමා ගත්තාය. ඇයට කිරීමට අවශ්‍ය නොවූ අවසන් දෙය වූයේ නැවත දෙපයින් නැගී සිටීමට ට්‍රෙවර්ට ශක්තිය ලැබුණු විට එතැන රැඳී සිටීමයි.

එන්වී අඳුරු නැටුම් බිම හරහා යන විට, යමෙකු ඇගේ අත තදින් අල්ලා ගත්තේය. ඒ ඇයගේ සහෝදරයා යැයි සිතමින්; ඇය වහාම ඔහු දෙස හිස ඔසවා බැලුවේ නැති නමුත් විශ්වාසයෙන් ඔහු පසුපස ගියාය. තමාව රැගෙන ආ තැනැත්තා දෙස බැලීමට ඇය හිස ඔසවනවාත් සමගම කුඩා දොරක් විවෘත වූ අතර ඇයව එය වෙතට තල්ලු විය.

ඇතුළුවූ දොර වැසී අගුලු වැටීමට පෙර එන්වී හට හැරී බැලීමට කාලයක් නොතිබිණි. කාමරයේ තිබූ රූපවාහිනී තිරයන්ගෙන් විහිදුණු එළියෙන් ඇය දුටුවේ කූඩුවේ සිටි පුද්ගලයා තමා සමග සිටින බවයි. කතා කිරීමට ඇය තම කට ඇරියද ඔහු ඇයව නැවැත්වීය.

"මම සිතුවේ ඔයා කාර්යාලයේ ආරක්‍ෂාවෙලා ඉඳගෙන ඔයා කරපු වැඩේ දිහා බැලුවොත් හොඳයි කියලයි", ඩෙවෝන් සිනාසෙමින් එක් රූපවාහිනී තිරයක් දෙසට ඇඟිල්ල දිගු කළේය.

එන්වී තිරය දෙස බැලුවේ, ට්‍රෙවර් ඔහුගේ ඉකිලි ප්‍රදේශය අල්ලාගෙන සිටින ආකාරය දුටු විට ඇයට සිනායනු ඇතැයි සිතමිනි ... නමුත් ඒ වෙනුවට ඇයට ඔහු ගැන දැනුනේ දැඩි ශෝකයකි. ඇගේ හදවත අඟල් කිහිපයක් පහත වැටී ඇති බවක් ඇයට දැනුනි. ඔහු වේදනාවෙන් සිටින බව දුටු එන්වී, මොනිටරයේ ශබ්දය නොමැති වීම ගැන සතුටු වූයේ ඔහු කියන දේ දැන ගැනීමට ඇයට අවශ්‍ය නැති බව ඇයට නිසැකව පසක් වූ බැවිනි.

සමූහයා අතරින් චැඩ් සහ ජේසන් පැමිණ නැගී සිටීමට ඔහුට උදව් කරන අයුරු ඇය නිහඬව බලා සිටියාය. ඔවුන් කියන දේ ඇයට පැවසීමට නොහැකි වූ නමුත්, තත්පර කිහිපයකට පසු ට්‍රෙවර්, ඔහු ටේසරයෙන් පහර කෑමට පෙර සිටියාට වඩා වැඩි ශක්තියකින් චැඩ්ව වේගයෙන් ඔහුගෙන් ඉවතට තල්ලු කළ විට ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ තුවාල වීමට පෙර එදෙසට යාමේ අදිටනින් ඇගේ දෑස් නැවත දොර දෙසට යොමු විය.

නර්තන ශිල්පියා, ඇය සහ දොර අතර සිටගෙන සිටි අතර අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස තම හිස සොලවනවා දුටු එන්වි, මොනිටරය දෙස ආපසු හැරී බැලූ අතර, ට්‍රෙවර්ගේ දෑත් හිරකර අල්ලා ගත් ජේසන් දැක ඇත්තෙන්ම පුදුමයට පත් වූ අතරම චැඩ් ඔහුට මාංචු දමනවාද දුටුවාය.

මෙයාකාරයෙන් බොළඳ වීම පිළිබඳව තමා කෙරෙහිම තරහක් දැනෙන බව තේරුම්ගත් ඇය, චැඩ් වෙතට ගොස් ට්‍රෙවර් හට යන්නට ඉඩ දෙන ලෙස ඉල්ලීමට දොර දෙසට ගමන ආරම්භ කළාය. ඔහු නැවතත්, ඇගේ අත අල්ලා ගත්තේය. පැහැදිලිවම මේ ක්‍රියාදාමයන් ආරම්භ කිරීම ඇගේ වරදක් බව ඇයට පසක් විය. වරදකාරී හැඟීම ඇයගේ කෝපය වැඩි කළ අතර ඇගේ ධෛර්යය අලුත් කළේය.

"මම මිනිහෙක්ව ටේසර් කරාට පස්සෙත්, ඒක හොඳ අදහසක් කියලා ඔයා සිතනවාද?" ඇය තම දෑස් ඔහුගේ දෑස් දෙසට හරවා බැලූ අතර එහි බලපෑමෙන් ඇගේ හුස්ම හිර නොකර ගැනීමට උත්සාහ කළාය. ඇය දැන් වඩාත් සමීපව බලන කල, ඔහුගේ දෑස් සිර කූඩුවේ සිටියාටත් වඩා විශ්මය ජනක විය.

“ඒ පිරිමි ටික කවුරු වුනත්, ඔයා ආයෙත් නටන්න යන්න ඉස්සරවෙලා අරයව සමාජ ශාලාවෙන් එලියට ගෙනියන්න අනිත් දෙන්නට ඉඩදෙන්න ඔයාට ඕනේ වෙයි”, ඇගේ දෑස් ගිනි දැල්වෙන අයුරු බලා සිටිමින් ඩෙවෝන් නැවත අනතුරු ඇඟවීය. ඇය විසින් තුවාල කල පුද්ගලයා බේරා ගැනීමේ දැඩි අවශ්‍යතාවය ඇගෙන් විද්‍යමාන වනබව ඔහුට පෙනුණි ... ඇයට ඒ සඳහා ඉඩ දීමට ඔහුට කිසිදු අදහසක් නොතිබුණි. "ඔයාගේ නම මොකක්ද?"

"ඇයි?" එන්වී ඇයගේ අත ඔහුගේ ග්‍රහණයෙන් ඉවතට ඇද ගත්තාය. "එතකොට අයිතිකාරයන්ට කියලා මාව සමාජ ශාලාවෙන් තහනම් කරන්න පුළුවන් හින්දද?"

"එහෙම නැහැ," ඩෙවෝන්ද ඒ අදහස ගැන සිතමින් ගොරෝසු ලෙස කීවේය. "ඒ උනාට මේ රෑ පුරාම ඔය ටේසරය ඔයාගේ සාක්කුවේ තියා ගන්න වෙයි." ඇය නැවතත් රූපවාහිනී තිරය දෙස ආපසු හැරී බලනු දුටු ඔහුද එදෙස බැලූ අතර ඇයගෙන් පහර කෑ තැනැත්තා පෙනෙන්නට නොසිටි බව දුටුවේය.

‘අපරාදේ,’ යනුවෙන් තම මනසින් සුසුම්ලමින් එන්වී දොරට හේත්තු වූ අතර එහි ලී අතරින් සංගීතයේ කම්පනය ඇයට දැනුණි. ඇය බොහෝ දුර ගිය බව දැන ඇය ඇගේ යටි තොල සපා ගත්තාය. මේ රාත්‍රියේ සඳ රැඟුම වෙත පැමිණීමට තුඩුදුන් අනෙක් හේතුව ඇයට සිහිපත් වූ අතර රැකියාවක් ඉල්ලීමට මෙය හොඳ අවස්ථාවක් දැයි කල්පනා කළාය. ඇය මනස සොලවා "එයාලා මෙතන වැඩ කරන්න කවුරුවත් හොයනවද කියලා ඔයා දන්නවද?", කියා ඇසුවාය.

තම දෙතොල පුරා පැතිරී යන මද සිනහව පාලනය කිරීමට ඩෙවෝන්ට නොහැකි විය. ඇය තුළ ඇති ගින්න මෙල්ල කිරීමට ඔහුට හැකි වන පරිදි ටික වේලාවක් ඇයව ඔහු සමඟ එම කූඩුව තුළට ගෙන යාමට ඔහු ඕනෙම දෙයක් දීමට සූදානම්ව සිටියේය. "ඔයා නටනවාද?" ඔහු බලාපොරොත්තු සහගතව විමසීය.

ඔහු කූඩුවේ සිටිමින් තමා දෙස බලා සිටි ආකාරය මතක්වූ එන්වීගේ දෑස් විශාල වූ අතර ඇගේ කලවා ගිනිගෙන දැවෙන්නාක් මෙන් දැනුණි ... නමුත් කනගාටුවට කරුණ නම් ඇගේ කම්මුල්ද රතු වීමයි. “නැහැ,” ඇය මදක් කලබලයෙන් කීවාය. “නටන්නේ නැහැ, මම මේ පැත්තේ වෙනත් සමාජ ශාලා වල බාර් එක බලා ගන්නවා. ඉතින් මම මෙහේ ඉන්න වෙලාවේ මට අයදුම්පතක් ඉදිරිපත් කරන්නයි හිතුවේ.”

"අපරාදේ" කී ඩෙවෝන් සිනාසෙමින් ඉදිරියට ගොස් මේසයෙහි තිබූ ලාච්චුවක් විවෘත කළේය. ඔහු අයදුම්පතක් ගෙන ඇයට භාර දුන්නේය. ඇය තවමත් ඇගේ නම ඔහුට පවසා නොතිබුණි, නමුත් ඇය ලවා ඔහු අයදුම්පත පුරවා ගත්විට, ඔහුට අවශ්‍ය සියලු තොරතුරු ඔහු සතුවනු ඇතිබව ඔහුට සිතුනි. එලෙසම ඇය නයිට් ලයිට් සඳහා වැඩ කර නොමැති බවට වග බලා ගැනීමට ද ඔහුට අවශ්‍ය විය.

ඔවුන් විසින් මිනිසුන්ව හොර රහසේ රහසේ තම සමාජ ශාලාවට එවීම නිසා ඔහු වෙහෙසට පත්වී සිටියේය. කූගර්වරු සහ ජගුවර්වරුන් අතර මිත්‍රකම අවසන් කළේ ක්වින් විසිනි, එබැවින් ඔහුට හැඟී ගිය පරිදි කූගර්වරුන්ට ඔවුන්ට පාඩුවේ සිටින්නට ඉඩ දී සිටිය යුතුව තිබුණි.

නයිට් ලයිට් හි කිසියම් කෙනෙකු විසින්, ඔවුන් සේවයට බඳවා ගත් අවසන් පුද්ගලයා ඔවුන් වෙත එවා තිබූ අතර, දැන් ඇයව කිසිවෙකු විසින් ඝාතනය කර ඇති විට, කූගර්වරු එයට පිළිතුරු ලබා ගැනීම සඳහා සඳ රැඟුම දෙස බලා සිටියහ. ... පොලිස් භටයින් ද එසේ විය. ඔහුගේ වාසනාවට, ඇය මෙහි වැඩ කළ එකම රාත්‍රිය එය වූ අතර, ඔහු සමඟ කූඩුවට ඇතුළු වීමට ඉඩදෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

ඇයට දිගු වේලාවක් කාමරයේ ගත කිරීමට හැකි හොඳම ක්‍රමය තේරුම්ගත් ඩෙවෝන් මේසය යටින් පුටුව ඇද එලියට ගත්තේය. "ඔයාට දැන් මේක පුරවන්න පුළුවන්. සමහර විට රාත්‍රිය ඉවර වෙනකොට ඔයාට වෙනත් රස්සාවක් ලැබෙන්නත් පුළුවන්.”

එන්වී පුටුවේ අසුන් ගත්තද, මුහුණ ඔසවා මොනිටරය දෙස බැලුවේ නළල රැලි ගන්වමිනි. "ඔයා හිතන්නේ මේකේ අයිතිකාරයා මම ට්‍රෙවර්ව ටේසර් කරනවා දැක්කා කියලද?" එම දර්ශනය කෙබඳු විය හැකිදැයි සිතමින් ඇය ඇගේ යටි තොල සපා ගත්තාය. "ඇත්තටම මම එහෙම නොකෙරුවානම් හොඳයි."

ඇය සමඟ මොනිටරය දෙස බලනවාක් මෙන් ඩෙවෝන් ඇගේ පුටුවේ පිටුපසට හේත්තු විය. ඔහුගේ තොල් ඇගේ කන ළඟට තබා ඔහු ඇසුවේ, "අයිතිකාරයා දැකලා ඒ ගැන ඔයාගෙන් ඇහුවොත්, ඔයා මොකක්ද කියන්නේ?” ඇගේන් විහිදුන සුවඳ ඔහුගේ රුධිරය උණුසුම් කරමින් තිබූ අතර ඔහු සෙමෙන් එය ආග්‍රහණය කළේය.

එන්වී හිස හරවා ඔහු දෙස බැලීමට පටන් ගත් නමුත් එය නවතා දැමුවාය. ඔහුගේ සමීපභාවය නිසා ඔහු ගෙන් විහිදුන සංවේදනයන් ඇගේ උරහිස හරහා සහ බෙල්ලේ පැත්ත දක්වා පැතිරී තිබුණි. "මම නපුරු වුනා" කියමින් ඇය හුස්ම ගත් අතර, ඇගේ ශරීරයේ මැද කොටසෙහි නැවතත් රස්නය එකතු වන බවක් දැනුනාය. මෙම මිනිසා ඇගේ ඉන්ද්‍රියන්ගේ සංවේදනයට භයානක ය. ආපසු හැරී ඔහුව ලෙවකෑමට හෝ ආවරණයක් සොයා දුවන්නට දැයි ඇය දැන සිටියේ නැත.

ඩෙවෝන්ගේ තොල් කෙලවරින් සිහින් සිනහවක් මතුවූ නමුත් ඔහු සිය ස්ථානයෙන් ඉවත් නොවීය. "ඉතිං, හොඳ හේතුවක් නැතුව ඔයා හැම වෙලේම කොල්ලන්ව ටේසර් කරනවාද?" ඇයගේ සිරුරේ උද්දීපනය ඔහුට දැනුන අතර එමගින් ඔහු ඇඳසිටි කලිසම අපහසු ලෙස ඔහුට දැනුනි.

"නැහැ," ඇය ඉදිරිපිට කුඩා රඳවනයේ තිබූ තීන්ත පෑනක් ගෙන අයදුම්පත පිරවීමට පටන් ගත් විට තම අවධානය වෙනතකට යොමු වීම ගැන එන්වී සතුටු වූවාය. “ඇත්තටම ඒකට සුදුසු අයව විතරයි,” ඇය පිළිතුරු දුන්නේ ඒ ගැන කතා කිරීමට නොකැමතිවය.

ඩෙවෝන් ඔහුගේ උපරිම උසින් සිටගෙන ඇයව පුටුවෙන් එළියට ගෙන ඔහුට මුහුණලා මේසය මත ඉන්දවීමට පැමිණි පෙලඹවීමට එරෙහිව සටන් කළේය. කෙසේ වෙතත්, ඔහු ඒ වන විටත් පුටුවේ පිටුපසට විසිරී ගිය ඇගේ සිනිදු සේද කොණ්ඩය තම ඇඟිලි අතර අතුල්ලමින් සිටියේය.

ඇය අයදුම්පත පුරවන විට ඔහු නිශ්ශබ්දව සිටි අතර ඇය පිරවූ සෑම වචනයක්ම ඇගේ උරහිසට ඉහළින් කියවීය. එන්වී සෙක්ස්ටන්, එලෙසම කූගර් සහ වැම්පයර් සමාජ ශාලා ඇය වැඩ කළ සමාජ ශාලා ලැයිස්තුව තුල නොතිබෙනු ඔහු දිටීය. ඉක්මන් දුරකථන ඇමතුම් කිහිපයක උදවුවෙන් අනිත් සමාජ ශාලාවලින් ඇයව ඉවත් කොට ඇය වෙනුවෙන් වැඩි කාලයක් නිදහස් කළ හැකි බව ඔහු දැන සිටියේය. මේ දරුණු බැළලියව අන් සමාජ සමග බෙදා ගැනීමට ඔහුට සිත් නොදුන්නේය.

එන්වී අයදුම්පත පිරවීම අවසන් කර නැගී සිටීමට උත්සහා ගත් නමුත් ඩෙවෝන් ඇයව ඉඳුවා තබා ගැනීමට ඇගේ උරහිස මත අත තැබීය. ඔහු ඉක්මනින්ම ඇයගෙන් කඩදාසිය රැගෙන දොර වෙත ගමන් කළේය.

"මෙහෙට වෙලා ඉන්න. උත්තරයක් අරගෙන මම විනාඩි කිහිපයකින් ආයේ එන්නම්,” ඩෙවෝන් දොරේ අගුල වෙත අත තිබූ නමුත් ඇය කතා කරනු ඇසී මදක් නතර විය.

"ඔයාගේ නම මොකක්ද?" එන්වී ඇසුවේ තම අයදුම්පත මෙහි අයිතිකරුට පමණක් ලබා නොදිය යුතුදැයි කල්පනා කරමිනි. සමහර විට ඇයට සම්මුඛ පරීක්ෂණය පවා මඟ හැරීමට ඉඩ ඇත.

ඔහු පිළිතුරු දුන්නේ, "ඩෙවෝන් සැන්ටොස්," කියා වන අතර ඇය ඔහුව නවත්වන්නට පෙර දොරෙන් පිටතට අතුරුදහන් විය.

නික්ගේ සුවඳ දැනුන නිසා ඔහු දොරෙන් පිටතට වී බලා සිටින බව ඔහු දැන සිටියේය. ඇයගේ අයදුම්පත නික් වෙත භාර දෙමින් ඩෙවෝන් ඔහුට දන්වා සිටියේ, "අපට අලුත් බාර් ටෙන්ඩර් කෙනෙක් ඉන්නවා" කියා ය. තම සහෝදරයා දැනටමත් පරීක්‍ෂා කළ දේම තමාද පරික්ෂා කරන බව දැන නික් කඩදාසියේ තිබූ දේ දෙස බලා සිටියේය.

නික්, වැම්පයර් කණ්ඩායම් කිහිපයක් එලවා දමා තිබු අතර එක් වැම්පයරයෙකු ඒ අතරින් ලිස්සා ගොස් තිබුන බැවින් ඔහුගේ රාත්‍රී මනෝභාවය විනාශ වී තිබුණි. ඔහු වැම්පයර්වරුන්ට හා ඔවුන් සමඟ ගැවසීමට තරම් මෝඩවූ ඕනෑම මනුෂ්‍යයෙකුට වෛර කළේය. මෙම ගැහැණු ළමයා ඔවුන් සමඟ ඇසුරු කළ බවට කිසිඳු ඇඟවීමක් අයදුම්පතෙහි නොදැකීම මෙන්ම එම දැරිය නිසා තම සහෝදරයාගේ ශරීරයේ වූ උද්දීපනය දැනීම නිසා නික්, ඩෙවෝන්ට තමාගේම කටයුතු කිරීමට ඉඩ දීමට තීරණය කළේය.

ඔහු අවසානයේදී අයදුම්පත ආපසු දුන්නේය, "ටේසර් එක ගෙදර තියාගන්න කියලා එයාට කියන්න." නික් සිය සහෝදරයා දෙස මොහොතක් බලා, "කැට් කිව්වේ, මේ ළමයා ටේසර් කරපු කෙනා එයාගේ පෙම්වතා කියලත්, මාංචු දාලා එයාව අරගෙන ගිය කෙනා එයාගේ සහෝදරයා කියලත්” ය.

“ඒ පෙම්වතා ළඟ තුවක්කුවක් තිබුණා. මට ඒකෙ සුවඳ දැනුනා.” ඩෙවෝන් උරහිස් ගස්සා පිළිතුරු දුන්නේය. “සමහර විට ඒකා එච්චර හොඳ පෙම්වතෙක් වෙන්න නැතුව ඇති" ඔහුගේ දෑස් පියාගෙන ඔහු නැවත කීවේය.

"ඔයා එයා ළඟ ටිකක් ප්‍රවේශම් වෙලා ඉන්න ඕනේ වෙයි." නික් හිස සැලුවේ ඔහුගේ සොහොයුරාගේ දෑස් තුළ පෙරටත් වඩා උනන්දුවක් දිස්වූ විට ය. "ඔයාට එයාව ඕනේ නම්, එයා මෙහෙ ඉන්නකොට එයාව පාලනය කරන එක ඔයාට භාරයි." වැම්පයර් වරුන්ගේ සුවඳ දැනුනු නික්, දත්මිටි කමින් තව කිසිවක් නොකියා පඩිපෙල දිගේ ආපසු ගියේය.

එන්වී චංචල ස්වභාවයෙන් වටපිට බැලූ අතර ඇය මීට පෙර නොදුටු සෝපානයක් දුටුවාය. සරල බොත්තමක් වෙනුවට එහි යතුරු පුවරුවක් තිබෙනු දුටු ඇය තම සියුම් ඇහිබැම ඉහළට එසෙව්වාය. පෑනෙන් මේසය මතට තට්ටු කරමින් ඇය කොපමණ වේලාවක් බලා සිටිය යුතුදැයි කල්පනා කළාය. චැඩ් ඇත්ත වශයෙන්ම ට්‍රෙවර්ව අත්අඩංගුවට ගත්තාද නැතහොත් ඔහුව සමාජයෙන් ඉවත් කිරීමට සැලැස්සුවේද යන්න ඇයට දැනගැනීමට අවශ්‍යව තිබුණි.

ඇගේ මනස එයින් ඉවත් කර ගැනීමට උත්සාහ කරමින් ඇය මේසය වටා බැලූවාය. චැඩ් එය වසන් කිරීමට උත්සාහ කළද, ඇය ඇගේ සොහොයුරා මෙන්ම උපතින්ම පරීක්‍ෂා සහගත තැනැත්තියක් වූවාය. සත්‍යය නම්, චැඩ් විශිෂ්ට රහස් පරීක්ෂකයෙකු වනවා නියතය. ඔහු සෑම කෙනෙකුටම පැවසුවේ ඔහු නිකම් පොලිස් නිලධාරියෙකු පමණක් බව වූ නමුත් එය කොතැනකවත් සත්‍යයක් නොවන බව ඇය දැන සිටියාය. ඔහු විශේෂ ආයුධ සහ උපක්‍රම කණ්ඩායමේ නායකයා විය.

අන්තිමේදී කල්පනාවකින් තොරව ඇය තමා අතට ගත් කඩදාසිය දෙස බැලුවාය. එය සැපයුම් කුවිතාන්සියක් විය. පතුලේ සඳහන් නම බැලීමට ඇය සැපයුම් කිරීමේ තොරතුරු හරහා ඇගේ බැල්ම කඩදාසිය පතුල දක්වා ගෙනගියාය. ඉන්පසු ඇය තරහින් කඩදාසි කැබැල්ල මේසය මතට විසිකර දැමුවාය. ඩෙවෝන් සැන්ටොස් ... අපොයි. ඔහු මෙහි හිමිකරුවෙකු වූ අතර තමා නර්තන ශිල්පියෙකු පමණක් යැයි සිතා ගැනීමට ඇයට ඉඩ හැරි බව තේරුම් ගත්තාය.

ඒ මොහොතේම කාර්යාලයේ දොර විවෘත වූ අතර ඩෙවෝන් නැවත ඇතුළට පැමිණියේය. "ඔයාට කවදා ඉඳන්ද වැඩ පටන් ගන්න ඕනේ?"



*****



නික් නැටුම් බිම හරහා ගොස් පිවිසුම් දොරටුව වෙත යන පඩිපෙල දිගේ දිව ගියේය. ඔහු අවශ්‍ය ප්‍රමාණයට වඩා බලයක් යොදා දොර තල්ලු කළ අතර ආරක්ෂක නිලධාරියා පසු කර යාමට උත්සාහ කරන මිනිසා දෙස බැලුවේය. කරදර කරන්නන් සහ අනවශ්‍ය පුද්ගලයින් ඇතුළු වීම වැළැක්වීම සඳහා හෝ ඔවුන්ව පරිශ්‍රයෙන් ඉවත් කිරීම සඳහා රඳවා සිටි සේවකයින්ගෙන් වැඩි දෙනෙක් මාරුවන්නන් වූ හෙයින් බාහිර සලකුනු නොමැති විට පවා වැම්පයර් වරුන්ගේ සුවඳ මගින් ඔවුන්ව හඳුනා ගැනීමේ හැකියාව තිබුණි.

සාමාන්‍ය වැම්පයර්වරයෙකුගේ විලාසිතා රටාව ගොත් සමූහයාගෙන් ඉගෙනගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළදී, ව්‍යාපාරික ඇඳුම් කට්ටල හෝ නිතිපතා සමාජයේ මිනිසුන් පළඳින ඇඳුම් ඇඳගෙන සිටි දහ දෙනෙකු පමණ ඇතුළට යාමට උත්සාහ කළ අතර, පෙනුම මත රඳා පවතිනවාට වඩා ඔවුන් දැන් සුවඳ කෙරෙහි විශ්වාසය තැබීමට හේතුව එය විය. නීති අංක එක ... අයිතිකරුගේ අවසරයක් නොමැතිව වැම්පයර්වරුන් ඇතුලට ගත නොහැක.

“ඔයාට මෙහෙ තියන කාරනාව මොකක්ද?” නික් ඇසුවේ ඇතුලට යාම සඳහා එතැන බලාසිටි මිනිසුන් වෙනුවෙන් වෘත්තීයමය ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි. එම මිනිසා හිස දෙපසට වනා නපුරු සිනහවක් නැගූ අතර නික්ගේ උදරය වෙව්ලන්නට විය.

"මම ඇතුළට යන්න කැමතියි." තම කළු ඉංගිරියාව විශාල කරමින්, වැම්පයර්වරුන්ගේ බලහත්කාරය යටතට පත් විය හැකි ඕනෑම අයෙකුව තම බලතල උපයෝගී කර ගනිමින් යටත් කරගන්නා ආකාරයට රැව්න් පැවසීය.

නික් ඔහුගේ ඉහළ සිට පහළට බැලුවේය. ඒ තැනැත්තා කළු පැහැති කෙස් කළඹක් සහිතව එහි කෙරවලවල් නියොන් රෝස පැහැ ගන්වා සිටි අතර ඒවා ඔහුගේ මුහුණට පහළින් එල්ලී තිබුණි. ඔහු තරුණ කෙනෙකු විය; බොහෝ විට විසිපහක් වත් නැති පෙනුමක්, ඉතා සුදුමැලි සම සහ ඔහුගේ ඇස් වටා තද අයි ලයිනර් තිබුණි. ඔහුගේ තොල් කළු ලිප්ස්ටික් වලින් ආලේප කර තිබූ අතර ඔහුගේ නියපොතු පවා කළු පැහැයෙන් වර්ණාලේප කර තිබුණි.

"සමාවෙන්න මහත්මයා ..." නික් වැම්පයර්ගේ සෑම චලනයන් දෙසම බලා සිටිමින් පැවසුවේය. ප්‍රමාණය හෝ වයස කුමක් වුවත් වැම්පයර්වරුන් ඉතා අනතුරුදායක වූ අතර ඒවා අවතක්සේරු නොකළ යුතුය.

“රැව්න්, මට රැව්න් කියලා කියන්න,” මිනිසා පිළිතුරු දෙමින් පැවසුවේ ඔහුට ජගුවරයෙකුව කෙතරම් දුරකට තල්ලු කළ හැකිදැයි කල්පනා කරමිනි.

"සමාවෙන්න රැව්න්, අපි අද උපරිමයටම පිරිලා." නික් පැහැදිලි කළේ, ඔහුගේ ඇඟිලි තම කබායේ සාක්කුව තුලවූ කුඩා පිස්තෝලය මත තබමිනි. එහි තිබූ හිස් රිදී උණ්ඩ, ශුද්ධ වූ ජලයෙන් පුරවා තිබුණි. ඔහුගේ තොල් කෙලවරේ කෘෘර සිනහවක් මතුවුයේ, තම යටි බාහුවට බැඳ තිබූ කිනිස්සෙහි ලී මිට ඔහුට දැඩිව දැනුනු නිසාය.

"එහෙනම් ඇයි මේ මිනිස්සු තාමත් පෝලිමේ ඉන්නේ?" රන්වන් පැහැය, ජගුවරයාගේ කළු ඉංගිරියාව අභිබවා යාමට පටන් ගැනීම දුටු රැව්න් ඇසුවේය.

නික් සිනාසුණත් ඔහු දත්මිටි කන බවක් දැනුනි. "එයාලා කලින් වෙන් කිරීම් කරලා තියන අය."

අභ්‍යන්තර ගින්නකින් අශුභ ලෙස බැබළෙන බවක් පෙනුණු රැව්න්ගේ දෑස් මඳ එළියකින් මොහොතකට බැබළුණි. නික් පඩිපෙලෙහි පියවර තුනක් බැස වීථි මට්ටමට ලඟාවී රැව්න් සහ මිනිසුන් සමූහය අතර මැද සිටගෙන රැව්න් ගේ කණට ළං විය.

කිසිවෙකුටත් නොපෙනෙන ලෙස රැව්න්ගේ ඉළ ඇටයට ලී කිනිස්ස තදකෙරූ ඔහු “දැන් යන්න, වැම්පයර්,” යනුවෙන් කීවේය. ඔහු මෙය කීවේ ඉතා සන්සුන්ව ය. "ඔයා ඇතුලට යන්නේ නැහැ."

නික් කෙළින් වී ඔහුගේ දෑත් නවාගෙන සිටියේ හදිසියකදී තම කිනිස්ස ඇද, ඇනීමට එය පහසු ඉරියව්වක් වූ බැවිනි. "මට සමාවෙන්න සර්, සුභ සන්ධ්‍යාවක් වේවා."

රැව්න් නැවතත් සිනාසුණ අතර, “ඕ, මම සැලසුම් කරන්නම්” යනුවෙන් දැඩි සිනහවක් සමග පැවසීය.

ඔහු දොරෙන් ඉවතට හැරී ඔහුගේ කළු පැහැති ජීන්ස් සාක්කුවේ දෑත් ඔබාගෙන, අශෝභන හඬක් නඟමින් වීදිය දිගේ ඇවිදීමට පටන් ගත්තේය. ජගුවරයා ඔහුගේ කනට කොඳුරන්නට පහත් වන විට තම ස්වාමියා ඔවුන් පසුකර සමාජ ශාලාවට ලිස්සා ඇතුළුවූ බව රැව්න් දුටුවේය. ඔහු කලකින් කේන්ව දැක නොතිබුණි. ඇත්ත වශයෙන්ම, ඔහුගේ ප්‍රධානියාගේ දෑස් ඔහු දෙස බලා සිටින බව ඔහුට බොහෝ වාරයක් දැනී තිබුනත් සති කිහිපයකට පසු ඔහු දුටු පළමු අවස්ථාව මෙය විය.

රැව්න් පුදුමයට පත්වූ දෙය නම් කේන් කැමැත්තෙන්ම තම සතුරන්ගේ ගුහාවට ඇතුළු වීමයි. මෙම ජගුවාර් වංශයේ නායකයා විසින් තමන්ව පණපිටින් භූමදානය කරන ලද කතාව මාස්ටර් ඔහුට පවසා තිබුණි. ඔහුගේ ස්වාමියාට තමාගේම සැලැස්මක් තිබේද?

‘ඔවුන් ඔයාව කොටු කළා, මගේ ස්වාමියා, නමුත් මේ සැරේ එයාලගේ අත්වල ලේ තැවරෙනවා කියලා මම වග බලා ගන්නවා.’ සෙවනැලි සමඟ මිශ්‍ර වීමට පෙර රැව්න් තමාට මුමුණා ගත්තේය. ඔහුට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවන බව ඔහු දැන සිටියේය. සඳ රැඟුම දෙසට හමන සුළඟ සමග ඔහුට හමා ආවේ ඔහුගේ නවතම වින්දිතයාගේ ලේ සුවඳයි.



*****



චැඩ් සහ ජේසන් විසින් අවාසනාවන්ත පෙම්වතාට සමාජ ශාලාවෙන් එළියට යාමට උදව් කරන අයුරු කැට් බලා සිටියාය... මාංචුද සමග. කුතුහලය නිසා බළලා මිය ගිය බව ඔවුන් සැම විටම පැවසූ නමුත්, ඔහුට කුමක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත්දැයි සොයා ගැනීමට ඇයට අවශ්‍ය විය. එය අන් කිසිවකට නොව, මුළු රාත්‍රිය පුරාම ඒ ගැන කල්පනා නොකර සිටීමටය.

පැති දොරකින් එළියට බැසගත් ඇය සෙවනැලි අතර සිටිමින් ඔවුන් පසුපස ගියාය. ඇයගේ දැඩි සංවේදන ඉන්ද්‍රියන් සමඟ, ඔවුන් කියන දේ ඇසීමට ඇයට එතරම් සමීප විය යුතු වූයේ නැත.

චැඩ් සහ ජේසන් විසින් ට්‍රෙවර්ව, ඔහුගේ කාරය සහ පොලිස් කාරය අතර හිරවන සේ නතර කළ නිසා එන්වීගේ කලබලයට පත් පෙම්වතාට නැවත සමාජ ශාලාවට ඇතුළුවීමට අවස්ථාවක් නොතිබුණි. සාධාරණ හේතුවක් නොමැතිව... එනම් ට්‍රෙවර් ඔහුව තල්ලු කළහොත් පමණි, ඔහුව අත්අඩංගුවට ගත නොහැකි බව දැන චැඩ් ඔහුගේ දෑතින් මාංචු ඉවත් කළේය.

"මම ඔට්ටු අල්ලනවා, මම ආවා කියලා එයාට කිව්වේ ඔයා කියලා!" ට්‍රෙවර් ජේසන්ට කෑ ගැසුවේය. “ඔයා එයා වෙනුවෙන් දරන වෙහෙස මම දැක්කේ නැහැ කියලා හිතන්න එපා. ඔයාගේ නහය අනිත් අයගේ වැඩ වලින් අයින් කරගෙන ඉන්න බැරි උනා නේද?"

ජේසන් තර්ජනාත්මක පියවරක් ඉදිරියට තබද්දී චැඩ් ඔහුගේ අත එළියට දමා ඔහු වැලැක්වීය. "ජේසන්, මම මෙතනින් එහාට වැඩේ කරන්නම්. ඇයි ඔයා ආපසු යන්නේ නැත්තේ එන්වී ව හොයා ගන්න. ට්‍රෙවර් යන තුරු එයා මෙහෙට එනවට මම කැමති නැහැ.”

"මම ආයෙත් එහෙට යන එක නවත්තන්න ඔයාට බැහැ. මම ඉන්නේ වැඩ කරන ගමන්!" ට්‍රෙවර් කිසිවක් පැහැදිලිව නොසිතා කීවේය.

“ඔව්, අපි දැක්කා ඔයා මොන මගුලද කර කර හිටියේ කියලා,” ජේසන් ඔහුගේ දෑත් මිට මෙලවූ නමුත් චැඩ් ඔහු දෙස බැලූ විට, ඔහුට තේරුම් ගියේ තමා වහාම නැවත ඇතුළට යා යුතු බවයි. ඔහුගේ විලුඹ මත කැරකෙමින්, ට්‍රෙවර්ගේ ප්‍රයෝජනය සඳහා ඔහු තවත් එක් ප්‍රකාශයක් ඔහුගේ උරහිස මතින් බලමින් කීවේය, “ඔයාට පුළුවන් වෙයි අපිව නැටුම් බිමේදී හොයා ගන්න ... එකිනෙකා වටේ එතිලා ඉන්නවා.”

ට්‍රෙවර් ඉදිරියට පැන්න නමුත් චැඩ් ඔහුව ඔහුගේ කාරය දෙසට නැවත තල්ලු කළේය. චැඩ් පුදුමයට පත් වූයේ, ට්‍රෙවර් ඔහුගේ පෙනුමට වඩා බොහෝ ශක්තිමත් වූ බැවිනි. “මම ඔයාට අනතුරු ඇඟෙව්වා, ඔයා ඇත්ත වශයෙන්ම කවුද කියලත්, ඔයා හැම වෙලේම සමාජ ශාලාවල රැඳිලා ඉන්න ඇත්ත හේතුව කියන්නේ නැත්නම් මගේ සහෝදරියට කරදර කරන්න එපා කියලා. පිස්සු මිනිහෝ, එන්වී හිතන්නේ ඔයා නිකරුණේ ඉන්න මෝඩ කොල්ලෙක් කියලා. ඔයාට එයාව පුදුමයට පත් කරන්න ඕනේ නම්, ඔයා එයාට ඇත්ත කියන්න තිබුනා. එයාට කිසිම දවසක දරා ගන්න බැරි දේ තමයි බොරුව. විශේෂයෙන් කවුරුහරි එයාට බොරු කියනවා නම්.”

කැට් තම අවධානය ට්‍රෙවර් වෙත යොමු කළාය. මේ සියල්ලෙන් අදහස් වන්නේ මොකක්ද?

"ඔයා වගේම මමත් දන්නවා, මම රහස් නියෝජිතයෙක් කියලා මම එයාට කිව්වා නම්, මම එයා එක්ක සමාජ ශාලා වල ඉන්න නිසා, මම එයාව පාවිච්චි කරනවා කියලා එයා හැම වෙලේම හිතයි." ට්‍රෙවර් කීවේ නැවත සමාජ ශාලාව දෙසට යාමට උත්සාහ නොකරමිනි. ඔහු තම සැබෑ ශක්තිය භාවිතා කළේ නම් චැඩ් මේ වන විටත් මියගිය කෙනෙකු වන අතර ට්‍රෙවර්ද ඔහු හඹා යන මිනිසුන්ට වඩා හොඳ කෙනෙකු නොවෙනු ඇත.

එම දැනුම මගින්, ඔහුගේ සත්ත්ව සහජ බුද්ධිය පාලනය කර ඔහුව සන්සුන් කරගැනීමට පිටිවහලක් වූ අතර ඔහුට තවමත් කෝපය සන්සිදුවාගත නොහැකි විය. "එයා මාව ටේසර් කරා!"

“ඔයා පහත් ජීවිතයක් ගත කරන, වංචා කරන පෙම්වතෙක් නිසා ඔයා ඒක ලබන්න සුදුසුයි. ඒයි, එයාට ඇත්ත කිව්ව නැති නිසා ඔයාට ලැබුන දේ තමයි ඒ. ඔයාට දැන් වෙනත් බාර් එකකට ගිහින් හොල්මන් කරන්න අවශ්‍ය නැත්නම් ඔයාගේ රෑ දැන් ඉවරයි. අනික, එන්වී ගාව ටේසර් එක තාමත් තියනවා,” චැඩ් සිනාසෙමින් කීවේය. "මම ඔයාට අවවාදයක් දෙන්නම්, මුළු රෑම එයාව තනියම තියන්න ... නැත්නම් වඩාත් හොඳයි මුළු ජීවිත කාලයම, ඔයාට එයා එක්ක පිරිසිදුවට එන්න බැරිනම්."

ට්‍රෙවර් දත්මිටි කමින් සිටියා මිස වෙන කිසිවක් කීවේ නැත. ඔහුට එන්වීගෙන් ඈත්වී සිටින ලෙස කීමට චැඩ්ට අයිතියක් නැත. නමුත් ඇයව සන්සුන් කිරීමට ඉඩ දී සිටීම, බුද්ධිමත් උපදෙසක් විය හැකිය.

“හොඳයි, නමුත් ඒක,” ඔහු සමාජ ශාලාව වෙත ඇඟිල්ල දිගුකර පෙන්වා දෙමින්, “ඔයාගේ සහෝදරියට රවුම් ගහන්න හොඳ ආරක්ෂිත තැනක් නෙමයි, ඒක ඔයාත් දන්නවා නේ.” චැඩ්ගේ ඇඟට වැදීම වළක්වා ගැනීම සඳහා පියවරක් පසුපසට තැබීමට ඔහුට බල කරමින් ට්‍රෙවර් තම කාරයේ දොර විවර කළේය. ඔහුට රථ ගාලෙන් පිටත් වීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණි.

චැඩ් හට තම කාරයේ විදුලි පහන් නොපෙනෙන ලෙස, ට්‍රෙවර් පාරේ බොහෝ දුරක් ගිය පසු ඔහු ඔහුගේ ජංගම දුරකථනය ගෙන තමා හට අනුග්‍රහය ලැබිය යුතු අයෙකුට ඇමතුමක් ගත්තේය. ට්‍රෙවර් තමා වෙත අන් අයගේ අවධානය එල්ල නොවන පරිදි සමීපතම වෙළඳසැල වෙත ගොස් එහි තිබූ ට්‍රක් රථයක් පිටුපස තම කාරය නැවැත්වීය.

ඩෙවෝන් ඇය දෙස බලා සිටි ආකාරයට ඇයව සමාජ ශාලාව තුල දමා ඒමට සිදුවීම ගැන ඔහු කම්පාවට පත්විය. ඩෙවෝන් මිනීමරුවෙකු නොවුවද, ඔහුගේ එම පෙනුම හොඳ දෙයක් නොවීය. චැඩ්, එන්වී ගැන සිතීමේදී ඔහු ශක්තිමත් කෙනෙකු ලෙස සිතු බව ඔහුට වැටහුනි. ඔහු දුර්වල තැනැත්තා බව දැනගත් විට ඔහු එයට කැමති වන්නේ කෙසේදැයි ඔහුට සිතාගත නොහැකි විය. ඔහු ජේසන් හටද යමක් කලයුතු බව තේරුම් ගත්තේය.

චැඩ් හැරී, ඇගේ දිශාව බැලූ විට කැට් සෙවනැල්ලේ වඩාත් ගැඹුරට මුවා වූවාය. ඔහුට තමාව දැකිය නොහැකි බව දැන දැනත් ඇය නළල රැලි කරගත්තාය ... මාරු කරන්නන් සතුවූ රාත්‍රීයේ පෙනීමේ වරප්‍රසාදය ඔහු සතුව නොතිබුණි. තම දෑස් වලට වැටී තිබූ කොණ්ඩය සුළං පහරක් මගින් ඉවත්කළ ඇය ඔහු දෙස බලා සිටි අතර අවසානයේ ඔහු ආපසු හැරී සමාජ ශාලාවට යන විට සුසුමක් හෙලුවාය.

එසේනම්, ට්‍රෙවර් යනු රහසිගත පොලිස් නිලධාරියෙකු වූ අතර චැඩ්ගේ සහෝදරිය එය නොදැන සිට ඇත. ... පැහැදිලිවම ජේසන් ද ඒ බව නොදැන සිට ඇත. ට්‍රෙවර් පැවසුවේ ඔහු මෙහි යම් කාරණාවක් පිලිබඳ සෝදිසියක් කරමින් සිටින බවයි. එය මිනීමැරුමක් ගැන විය යුතු බව දැන කැට් ඇගේ දත්මිටි කෑවාය. ඇයට අවශ්‍ය වුයේ ඔවුන්ව හසුකිරීමේ අරමුණින්, රුධීර මාවත මෙහි සිට විහිදුවන තැනැත්තා කවුරුන්ද කියා සොයා බැලීමට වොරන් හට බල කිරීමටයි.



*****



සමාජ ශාලාවේ අයිතිකරු තමා බව ඩෙවෝන් ඇයට නොකීවේත්, ඇයව රස්සාවට නොගත්තේත් මන්දැයි කල්පනා කරමින් එන්වී සෙමෙන් නැගී සිටියේය. මිනිසුන් ඇයට බොරු කියන විට ඇය එයට වෛර කළ නමුත් ඇය ඔහුව නොදන්නා අතරම ඔහු ඇයට කිසිවක් ණය නොවූ බැවින් ඇය පැවසීමට සිතූ දේ ඇය ගිල ගත්තාය.

"ඒක හරිම ඉක්මන් දෙයක් වුනා නේ," ඇය තම පපුවට උඩින් දෑත් බැඳ ඔහු දෙස බලාපොරොත්තු සහගතව බැලුවාය.

"මම ඔයා ගැන හොඳ කිව්වා. සමහර වෙලාවට එයාලා මට ඇහුම්කන් දෙනවා.” ඇගෙන් විහිදුන සුවඳ වෙනස් වන අයුරු දැනුන ඩෙවෝන් ඇය දෙස කුතුහලයෙන් බලා සිටියේය. ඇයට ඔහු ගැන තරහා ගොස් ඇති බව ඔහුට තේරුම් ගිය අතර එලෙසම එය හොඳ සුවඳක්ද විය.

"සමහර වෙලාව ඒ ඔයා අයිතිකාරයා නිසා වෙන්න ඇති", එන්වීගේ කුඩා සිනහව අතුරුදහන් විය.

එසේනම්, ඇයට තරහා යාමට හේතුව මෙයයි. යමෙකු තමාගෙන් යමක් සඟවන බවක් දැනෙන විට ඇය එයට කැමති නැත. ඔහු එය මතකයේ තබා ගත යුතුය. ඩෙවෝන් තම හිස මදක් පහත් කොට, “මම මේකේ අයිතිකාරයන්ගෙන් එක්කෙනක් විතරයි. මම, මගේ සහෝදරයන් දෙදෙනා සහ මගේ සහෝදරිය යන හැම දෙනාටම මේ සමාජය අයිතියි. අපි අලුත් පුද්ගලයින් වැඩට බඳවා ගන්නකොට එකිනෙකා එක්ක කතා කරලා තමයි ඒ ගැන තීරණය කරන්නේ.”

එන්වී මහත් අපහසුතාවයකින් ඔහු දෙස බැලුවාය. "මට සමාවෙන්න, මම අදහස් කළේ නැහැ..." ඇය සුසුමක් හෙළා අත පහත් කළාය.

"අඩුම තරමේ ඔයාගේ ටේසර් එකවත් මේ වෙලාවේ ඔයාගේ සාක්කුවේ තිබුනානේ" ඩෙවෝන් විහිළුවක් කරමින් සිනාසුණේ තත්වය සාමාන්‍ය කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

එන්වී ලැජ්ජාවට පත් වූ අතර ඇයව ඊටත් වඩා මෝඩයෙකු ලෙස සලකා කටයුතු කිරීමට පෙර ඔහුගේ දෘෂ්ටියෙන් ඈත් විය යුතු බව දැනුනි. "මම වැඩිපුරම වැඩ කළේ දවල් කාලේ, හෙට මම නිවාඩු, එහෙනම් ..." ඇය කලබලයෙන් ඔහුට දැනුම් දුන් අතර, පිටවීමේ දොරටුව තම දෑස් ඉදිරියෙහි තබාගෙන එය දෙසට ගමන් කිරීමට පටන් ගත්තේ මෙය තම ඉතිහාසයේ කෙටිම රැකියාව වීමට පෙරය.

"හෙට රෑ," ඩෙවෝන් ඇයට දොර විවර කරමින් පැවසුයේය. "හතට."

ඇය දුවන අයුරු බලමින් ඔහු ඇයට යන්නට ඉඩ හැරියේ ඇය ඉවතට දිව ගියහොත් තමාට අල්ලා ගත හැකි බව ඔහු දන්නා බැවිනි. ඔහු කාර්යාලයේ දොර වසා මොනිටරය දෙසට හැරුණේ ඇය නැටුම් බිමෙහි පිටත මායිම වටා පඩිපෙල දෙසට යන ආකාරය බලා ගැනීම සඳහා ය. කලින් එහි සිටියාවූ එක් අයෙක් ඇයගේ අවධානය ලබා ගැනීම සඳහා ඇයගේ අතින් අල්ලා ගත් විට ඔහුගේ දෑස් අඩවන් විය. ඩෙවෝන් දොර දෙසට යාමට පටන් ගත් නමුත් ඔහු එන්වී පසුපස යාමට පෙර කැට් කාමරය තුලට ඇතුළු වූවාය.

“අර ගැහැණු ළමයා ටේසර් එකක් එක්ක ...” කැට් ආරම්භ කළ නමුත් ඇගේ සහෝදරයාගේ දැඩි බැල්මෙන් එය නවතා දැමුවාය.

“එයාගේ නම එන්වී, හෙට ඔයාට පුළුවන් මෙතන වැඩ වෙන විදිහ එයාට පෙන්නන්න. මම එයාව බාර් එකේ රස්සාවට ගත්තා.” මේසය කෙලවරට හේත්තු වී සිටි ඩෙවෝන් ඔහුගේ දෑත් පපුව හරහා බැඳ ගත්තේය.

ඩෙවන් මොනිටරය දෙස ආපසු හැරී බලා තිගැස්සුණ විට කැට් ඇගේ හිස ඇල කරමින් එදෙස බැලුවාය. ඔහු බලාසිටි මොනිටරයේ තිරය මැද දිස්වූ ජේසන් සහ එන්වී ව දැක ඇය කෙටි සිනහවක් පෑවාය. "අම්මා, එයාට අද රෑ ගොඩාක් ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා වගෙයි නේද?" ඇය කී දේ හරියටම සත්‍ය නොවන බව ඇය දැන සිටි නමුත් ඇයට අවශ්‍ය වූයේ ඩෙවෝන්ගේ ප්‍රතික්‍රියාව කුමක්දැයි බැලීමටය. ඔහු අල්ලාගෙන සිටි පරිගණක පුටුවේ පිටුපස තුනී ප්ලාස්ටික් කැබැල්ල ඔහුගේ අතෙහි බලයෙන් කැඩී ගියවිට ඇය බලාපොරොත්තු වූ පිළිතුර ලැබුණි.

ඩෙවෝන්, කැට් දෙසට ඔහුගේ ඇස් නැවතත් හරවා, “ඇයි ඔයා මගේ කාර්යාලයේ ඉන්නේ?”

කැට් ඔහුට සිනාසුනා පමණි. මෙය ඉතා විනෝදජනක විය. ඇය ඉදිරියට ගොස් තිරය දෙසට ඇඟිල්ල දිගු කළාය. "මේ මිනිහා, එයාගේ නම ජේසන් ෆොක්ස්, එයාගේ යාලුවෝ දෙන්නා මෙහෙට එන්න ඉස්සෙල්ලා මම එයත් එක්ක බාර් එකේ කතා කර කර ගොඩාක් වෙලා හිටියා."

ඩෙවෝන් තම සහෝදරිය දෙස ඇහිබැමක් ඔසවා, ඇය කතාවේ නියම ස්ථානයට එනතෙක් බලා සිටියේය.

“ජේසන් තමයි එයාට කතා කරලා කිව්වේ, සමාජ ශාලාවට එන්න කියලා. ඒක නිසා තමයි මෙයා ආවේ.” ඩෙවෝන් අතින් පුටුවේ ඉතිරි කැබලිද කැඩී ගිය විට ඇය ව්‍යාජ සිනහවකින් මුව සරසාගත්තාය. "එයා කොල්ලට මොනවා කිව්වාද කියලා මම දන්නේ නැහැ, නමුත් ජේසන් ඇහුවා, 'එහෙනම් ඇයි ට්‍රෙවර් වෙනත් කෙනෙක් එක්ක නැටුම් බිමේ ඉන්නේ?'"

"ඉතිං, එහෙනම් මිනිහා තමයි එයා මෙහෙට එන්න හේතුව," ඩෙවෝන් තම අතෙහි තිබූ ප්ලාස්ටික් කැබැල්ල මේසය මත තැබුවේය. "මට විශ්වාසයි ඔයා මේ කියපු දේ, මොකක් හරි කරුණක් තියෙයි කියලා."

"ඔව් මමත් හිතනවා, නමුත් ඔයා ලජ්ජාවට පත්වෙන විදිහ බලා ඉන්න එකත් හරිම විනෝදජනකයි," ඩෙවෝන් විසින් ඔහුටම ආවේනිකවූ ‘තෝ පලයන් නිරයට’ පෙනීම ඇයට ලබා දුන් විට ඇගේ කතාව තවත් ඉදිරියට ගෙන යාමට කැට් තීරණය කළාය. “කොහොම වුණත්, මේ ඔක්කොම සැලැස්මක්, මට ඇහුණු විදිහට. වංචා කරපු පෙම්වතාට එරෙහිව පාවිච්චි කරනවා කියලා දැන දැන, එයාගේ සහෝදරයා එයාට ටේසර් එක දීලා තියනවා. නමුත් ඇත්ත දේ තමයි ට්‍රෙවර් එයාව රවට්ටලා නැහැ.”

"මොකක්ද?" ඩෙවෝන් තරමක් තදින් පැවසුවේ, මෙය කොතැනින් කෙලවර වේදැයි සිතා ගැනීමට නොහැකිවය.

සෑම දෙනාගේම අපිරිසිදු කුඩා රහස් හෙළි කිරීමට කැට් ඊළඟ මිනිත්තු දහය ගත කළාය. ඒ සමගම, ජේසන්ට, එන්වී කෙරෙහි දිගු කාලීනව පැවති දැඩි ඇල්මක් ඇති බව යන කරුණ දැනුම් දීමටද ඇය අමතක නොකළාය.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=66740993) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



එනවග ජවතය වශෂට වය. උසස වඩම සහදරයක, වදගත පමවතක සමග ගහණ ළමයකට බය හක හඳම රකයව සමග … නගරය වඩතම ජනපරය සමජ ශහ තබරමව බම පගනවනනයක වම. ඇග පමවත වසන සඳ නරතනයහ නටම ශව ක නමන කරයවක ගන ඇග හඳම මතරකගන ඇමතමක බන තර සමදම හඳන සදවය. ඩවන යන ජගවරවරයක බවට පතවය හක තරමක රළ මනසක සහ සඳ නරතනය හව හමකරවක. රත කස සහතව සමජ ශව නටමන සටන ආකරෂණය කහකර ගහනය දටවට ඔහග කය එහ අකෂයන ඉවතට නඹර වය. ඔවන වට ගඩනගණ වමපයර යදධයකත සමඟ ඩවන මම කනතව තමග බවට පත කරගනමට පරනද දන අතර… ඇයව බ ගනමට තම උපරම වරයය යද සටන කරය.

එනවග ජවතය වශෂට වය. උසස වඩම සහදරයක, වදගත පමවතක සමග ගහණ ළමයකට බය හක හඳම රකයව සමග … නගරය වඩතම ජනපරය සමජ ශහ තබරමව බම පගනවනනයක වම. ඇග පමවත වසන සඳ නරතනයහ නටම ශව ක නමන කරයවක ගන ඇග හඳම මතරකගන ඇමතමක බන තර සමදම හඳන සදවය. ඔහව මණගස ඒ පබඳ වමසමට ඇය ගත තරණය මගන එදනද ඒකකර ජවතයට යටන සඟව ඇත භයනක අදභත කයක හඳනව දන සදවම දමයක ආරමභ කරය. මනසන හට ජගවරවරන බවට පරවරතනය වය හක කයක, සබ වමපයරවරන වථව සරසරන එසම කඩ වටණ දවදතයන අප අතර ඇවදමන සටන. ඩවන යන ජගවරවරයක බවට පතවය හක තරමක රළ මනසක සහ සඳ නරතනය හව හමකරවක. නරම හදවතකන සහ වද කමපන උපකරණයකන සනනදධව, රත කස සහතව සමජ ශව නටමන සටන ආකරෂණය කහකර ගහනය දටවට ඔහග කය එහ අකෂයන ඉවතට නඹර වය. ඔවන වට ගඩනගණ වමපයර යදධයකත සමඟ ඩවන මම කනතව තමග බවට පත කරගනමට පරනද දන අතර… ඇයව බ ගනමට තම උපරම වරයය යද සටන කරය.

Translator: Roshan Perera

Как скачать книгу - "සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *